රුසියානු ජාතිකයාගේ PCR වාර්තාව අනුව හෙළිවූ කරුණක් ගැන වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා හෙළි කරයි

September 26, 2020 at 3:48 PM

 

මිට දින කිහිපයකට පෙර මාතර ප්‍රදේශයේදී හඳුනා ගනු ලැබූ කොවිඩ් වෛරසය ආසාදිත රුසියානු ජාතිකයාට මිට පෙර වෛරසය ආසාදනය වී සුවය ලැබූ අයෙක් බවට හෙළිවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කලේ මෙම රුසියානු ජාතිකයාව හම්බන්තොට රෝහලට රැගෙන ගොස් එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති කරුණු අනුව ඔහුගේ ශරීරයේ අඩංගුවී තිබු වෛරස් ප්‍රමාණය අඩු බැවින් පසුව ප්‍රතිදේහ පරික්ෂා කිරීමක් සිදුකළ බවයි. එහිදී මෙම රුසියානු ජාතිකයාට මිට පෙර නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අයෙක් බවට හෙළිවූ බවත් ඒ අනුව ඔහුගේ ශරීරයේ වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීම සිදුවන බව කියා සිටියා.

ඒ හේතුවෙන් මෙම රුසියානු ජාතිකයාගෙන් කිසිදු අයුරකින් වෛරස ව්‍යාප්තියක් සිදුවීමේ ඉඩක් නොමැතිවීම නිසා ඔහුව අද හෝ හෙට දිනයේදී රෝහලෙන් පිටව යාමට ඉඩ ලබා දෙන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

මෙම රුසියානු ජාතිකයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු ඇතුළු පිරිස නවාතැන් ගෙන සිටි හෝටලයේ රෝහල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් නිරෝදායන ක්‍රියාවලියට යොමු කළ බව පැවසූ වෛද්‍යවරයා ඔවුන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට කටයුතු කළ බව කියා සිටියා.

ඒ අනුව මෙම හෝටලයේ නතරව සිටි සෙසු රුසියානු ජාතිකයින්ගේ PCR වාර්තාවන් සෘණාත්මකව තිබුනත් ඔවුන් මේ වන විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති නිසා යම් හෙයකින් ඔවුන් ගෙන් කිසිවෙකුට හෝ වෛරසය ආසාදනය වී තිබීමේ ඉඩක් ඇත්ද යන සැකය මත තවදුරටත් මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයේ කාර්ය මණ්ඩලය දින 14ක කාලයක් නිරෝධායනය ක්‍රියාවලියේ තැබීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ.

නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ මෙම හෝටලයේ කාර්ය මණ්ඩලයේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් ගැටළු පවතින බව ද මෙහිදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියා.