යුක්‍රේන හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

September 26, 2020 at 7:31 AM

යුක්‍රේනයේ ගුවන් හමුදා යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස කඩා වැටුණු ගුවන් යානයේ පුද්ගලයින් 27 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි එරට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.
ගුවන් යානයේ ගමන් කරමින් සිටි බහුතරයක් දෙනා යුක්‍රේන ගුවන් හමුදාවේ පුහුණුව ලබන කැඩේට් නිලධාරින් බවත් ඔවුන් ඇන්ටනෝව් -26 වර්ගයේ පුහුණු ගුවන් යානයක පියාසර කරමින් සිට ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කළේ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින්ට හැකිවී ඇති අතර අතුරුදහන්ව සිටින අනෙක් පුද්ගලයින් තිදෙනා සොයා මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගුවන් යානය චුචුවී හමුදා කඳවුරේ ගුවන් පථයට ගොඩබෑමට නියමිතව තිබී ඇති අතර ඊට කිලෝමීටර් 02ක් ආසන්නයේදී මෙලෙස අනතුරට ලක්වී ඇත.
ගුවන් යානා අනතුරට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි යුක්‍රේන බලධාරින් සඳහන් කරන්නේ.