දෙමළ ජනතාවට සම අයිතිය දෙන්න 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න : ඉන්දිය අගමැති කියයි

September 26, 2020 at 6:20 PM

සාමය සහ සංහිදියාව පිලිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සුළුතර දෙමළ ජනතාව අතර බලය බෙදා හැරීමට කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දියාව කියා සිටිනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පැවති ද්විපාර්ශවික සමුළුවේදී මෙම අදහස් පළ කෙරුණා.

මෙරට ජිවත්වන දමිළ ජනතාවට සමානාත්මතාවය, යුක්තිය, සාමය යන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණනයෙන්ම බලාත්මක විය යුතු බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර දෙරට කාලන්තරයක් පුරා පවතින ධිවර ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී රාජ්‍ය නායකයින් දෙපළ ගේ අවධානයට ලක්විය.

ශ්‍රී ලංකාව සමග බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ලබා දීමද මෙහිදී ඉන්දීය අගමැතිවරයා විසින් නිවේදනය කර සිටියා.

පසුගියදා පැවති මහ මැතිවරණයේදී පාලක පක්ෂය වශයෙන් රාජපක්ෂ රජය විසින් ලබාගත් ජයග්‍රහණය දෙරට අතර ගැඹුරු සහයෝගීතාවයට ඉවහල් වනු ඇති බව ද්විපාර්ශවික සාකච්ජාව අරඹමින් ඉන්දීය අගමැතිවරයා කියා සිටියේ.

සිය අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකදීම පළමු තැන ලබාදීමට ඉන්දියාව පියවර ගන්නා බව පැවසූ අගමැති මෝදී ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කර සිටියා.

මේ අතර ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් කල් ලබා දෙන්නැයි ලක් රජය සිදුකළ ඉල්ලීම ගැන සාකච්ජා කරමින් පවතින බවයි මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.