භාවිත කළ වාහනවල මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් : වාහන මිලදී ගන්නා පුද්ගලයින්ට ඇමතිගෙන් මතක් කර දීමක්

September 25, 2020 at 10:39 AM

වාහන ආනයනය අත්හිටුවීමට තීරණය කිරිමත් සමග වෙළදපලේ පවතින භාවිත කළ වාහන වල මිල ගණන් ඉහළ යෑම පාලනය කිරීමට රජයට හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

කඩුවෙල දී මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ජාවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ භාවිතා කළ වාහන වල මිල ගණන් ඉතා සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයින් දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි. වාහන ආනයනය අත්හිටුවීම තාවකාලිකව සිදුකළ දෙයක් බවත් විදේශ මුදල් සංචිත පිටරටට ගලා යාම වැළැක්වීමට ගනු ලැබූ පියවරක් බව කියා සිටියා. වාහන ආනයනය සිමා කිරීමට තීරණය කිරීමත් සමග රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගෙන යාමට හැකිවූ බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරය පෙන්වා දුන්නේ.

” කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග රුපියලේ අගය ස්ථාවර වුණා. වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග යලි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති” යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.