පෞද්ගලික සමාගමක් මුතුරාජවෙල රක්ෂිතයේ අක්කර 600ක සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කරයි : නිරීක්ෂණය සඳහා පැමිණෙන්න රජයේ බලධාරීන්ට සුපිරි වාහන දෙයි (PHOTOS)

September 25, 2020 at 7:46 AM

පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල අභය භූමියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති කීපයකට අදාළ භූමි නිරීක්ෂණ කටයුතු සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ප්‍රවාහනයට බෙන්ස් රථ තුනක් අදාළ සමාගම විසින් සපයා දුන් බවට ​තොරතුරු හෙළිවී තිබේ.

අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේ කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසි දෙනකු පමණ සහභාගිවී ඇත.මෙහිදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකු අදාළ ව්‍යාපෘති භූමියට ගොස් ඇත්තේ දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයකිනි.

මුතුරාජවෙල වගුරු බිම් කලාපයට දැඩි හානියක් සිදුකරමින් අදාළ සමාගම විසින් අක්කර 600 ක ප්‍රදේශයක් පුරා හෝටල් සංකීර්ණයක්, ගොල්ෆ් පිටියක් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කිරීමට නියමිතය.

මෙම කටයුතුවලට අදාළව සකස් කරනු ලබන පරිසර අගැයීම් වාර්තාව පිළිබඳව තීරණයක් ගැනීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉකුත් සිකුරාදා (18 වැනිදා) අදාළ භූමියට ගොස් ඇත.

මෙහිදී සුපිරි සංග්‍රහයක්ද අදාළ ආයතනය විසින් නිලධාරීන්ට සපයා ඇතැයිද අනාවරණය වේ. අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය නම් හෙලිකොප්ටරයක් වුවද සැපයිය හැකි බවට අදාළ පෞද්ගලික සමාගම විසින් නිලධාරීන්ට දන්වා තිබේ.

මෙරට විශාලතම තෙත් බිම් පද්ධතිය වූ මුතුරාජවෙල වගුරු බිමයි.වගුරු බිමේ ජා ඇල ප්‍රදේශය ආශ්‍රිතව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ පෞද්ගලික සමාගමේ හිමිකරු මුතුරාජවෙල වගුරු බිමේ තැනින් තැන පිහිටි පෞද්ගලික ඉඩම් මිලදී ගෙන ඒවා ගොඩකරමින් විවිධ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර පාලනය වී ඇත්තේ මෙම පරිසර කලාපයෙන් බවත්,මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන් මුතුරාජවෙල පිළිබදව දරන නිද්‍රාශීලී පිළිවෙත නිසා එය විනාශයට පත්ව ඇතැයිද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස පැවසුවේය.

මැල්වත්ත කියන සමාගම පිළිබඳවයි ඔය කියන්නේ. මුතුරාජවෙල අභය භූමිය තුළ මීට කලින් ඇති වූ සිද්ධියකදී එක්තරා පාර්ශ්වයක් නඩු පැවරුවා. එහිදී අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. ගොඩකිරීම් සහ කැණීම් වළක්වාලමින්. ඒ අතරතුර මැල්වත්ත ආයතනය අපෙන් ඉල්ලා සිටියා ඔවුන්ගේ පෞද්ගලික ඉඩම්වල හෝටල් ව්‍යාපෘතියක, සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳව. මෙහිදී අපට කරන්න තියෙන්නේ පරිසර අධ්‍යනයක් කිරීමටයි. එය කරන්න අපට හැකිද කියලා නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුවා. එහිදී දැනුම් දුන්නේ නඩුවෙන් පවරා තිබෙන ඉඩම් තහනම් කටයුතු නොකෙරෙන ආකාරයට, අධ්‍යනය සඳහා සලකා බැලීමට දෙපාර්තමේන්තුවට හැකි බවයි.අපි ඒ ගැන ක්ෂේත්‍ර පරීක්ෂණයක් කළා. එපමණයි. අපි තවමත් තීරණයක් අරගෙන නෑ මෙවැනි කටයුතුවලදී ආයෝජක විසින් වාහන ලබාදුන් අවස්ථා තිබෙනවා.

( උපුටා ගැනීම : අරුණ පුවත්පත / ජායාරුප : Save Muthurajawela ෆේස්බුක් පිටුවෙන්)