පාසැල් තුලින් පමණක් දිනකටහිස් පෑන් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරෙන බව ඇමති කියයි

September 25, 2020 at 9:31 AM

පාසැල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කර ගන්නා බෝල් පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝග්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදා හරින බව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පරිසරයට බැහැර කරන පෑන් බට ප්‍රමාණය මේ අනුව වසරකට කිලෝග්‍රෑම් 29,200ක් පමණ වන අතර රාජ්‍ය හා වෙනත් පුද්ගලික අංශයෙන් බැහැර කරන හිස් බෝල් පොයින්ට් පෑන් ප්‍රමාණය කෙතෙක් දැයි තවමත් ගණනය කර නොමැත.

එහෙත් මෙරට පාසැල් පද්ධතිය තුළින් පමණක් මුදා හරින අති විශාල ප්‍රමාණයක් වන හිස් බෝල් පොයින්ට් පෑන් ප්‍රමාණය නිසා දෛනිකව විශාල පරිසර හානියක් සිදුවන අතර විදිමත් පරිදි ඒවා බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිකමත්, ඒ සම්බන්ධව දැඩි අවධානයක් මෙතෙක් යොමු නොවීමත් හා නිසි ප්‍රතිචක්‍රීයකරණ වැඩ පිළිවෙළක් නොවීමත් හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් දිනපතා සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අන්දමින්ම ප්ලාස්ටික් දත් බුරුසු ද විශාල ප්‍රමාණයක් දිනපතා පරිසරයට යොමු කරන අතර නිසි පරිදි ප්‍රතිචක්‍රීයකරන වැඩ පිළිවෙළ් නොමැතිවීම නිසා එවැනි වැඩ පිළිවෙළක් මධ්‍යම අධිකාරිය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේ.

සාමාන්‍යයෙන් ඉවත තමන බෝල් පොයින්ට් පෑන් හා දත් බුරුසු හේතුවෙන් විශාල ලෙස පාංශු දූෂණයක් සිදුවේ. එයට හේතුව නම් මෙම වර්ග දෙකම දිරාපත් වීම සඳහා වසර 50-75 දක්වා කාලයක් ගත වන බව මේ සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් පවසන බව අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉවත ලන ප්ලාස්ටික් දත් බුරුසු හා බෝල් පොයින්ට් පෑන් ප්‍රතිචක්‍රීයකරණය සඳහා ප්‍රථමයෙන් ඒවා එකතු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසන බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.