COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාව රැකගන්නට Rainco “යකා” ඉදිරියට එයි

September 17, 2020 at 8:34 PM

ජනතා ආදර ගෞරවයට පාත‍්‍ර වූ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම,                   COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළේය. එකී මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින් COVID වලින් ආරක්‍ෂාවීම පිළිබඳ ජනමතයක් නිර්මාණය කිරීමෙහිලා ශ්‍රී ලාංකීය ජන සමාජය තුල මුල් බැසගත් “යකා” සංකල්පය පෙරටුකොටගෙන නිර්මාණාත්මක ප‍්‍රචාරණ වැඩපිළිවෙලක් දියත්කොට තිබේ. COVID-19 ගෝලීය වසංගතය සමග අප වෙතට පැමිණි මුඛ ආවරණ (මාස්ක්) පැළඳීම, මීටරයක දුරින් සිටිමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම හා නිතරම නිවැරදිව අත් සේදීම යන අලූත් සෞඛ්‍යාරක්ෂණ පුරුදු අත්නොහැර – මග නොහැර පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කෙරෙන මෙම ප‍්‍රචාරණ වැඩපිළිවෙල “වෙනස් වෙන්න තමන්ගෙන්ම පටන්ගන්න” (Be the Change – It Stars with You) තේමාව යටතේ ක‍්‍රියාත්මක කෙරේ.

Rainco පුද්ගලික සමාගම විසින් COVID-19  ට එරෙහි “යකා”සංකල්පය එළිදැක්වීම පිළිබඳ පැහැදිළි කරමින් Rainco පුද්ගලික සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස් මහතා ”වර්ෂ 4500කටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන යක්ෂ ගෝත‍්‍රයට උරුමකම් කියන ශ‍්‍රී ලාංකිකයන් නොබියව  ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හුරු පුරුදු වෙලා ඉන්නවා. කඩිසරව වැඩ කරන කෙනෙක්ව, ශක්තිමත්ව ධෛර්යසම්පන්නව නොබියව වැඩකරන කෙනෙක්ව යකෙක් / යකා විදිහට හඳුන්වන්න අපේ ජන සමාජය කාලාන්තරයක සිට පුරුදුවෙලා ඉන්නවා. කොරෝනා වසංගතේ එක්ක අලූතින් ලෝකයට එක්වුණු චාරිත‍්‍ර වාරිත‍්‍ර එක්ක නොබියව වගකීමක් සහිතව නැගී සිටිමින් සමාජ වගකීම නිසි ලෙස ඉටු කරන යක්කු / යක්ඛයන් වෙමු කියන යෝජනාවයි අපි මේ ප‍්‍රචාරණ වැඩපිළිවෙලේදී ජනතාව අතර ඇතිකරන්න උත්සාහ ගන්නේ. කොරෝනා නිසා සම්පූර්ණයෙන් වසා දැමූ රටවල් අපේ ඇස් ඉදිරියේ තියෙනවා. ඒ රටවල්වල ඇතිවෙලා තිබෙන සාමාජීය ගැටළු ඉතා හොඳින් පෙනෙන්නට තියෙනවා. ලංකාවේ අපිටත් නිරෝධායන ඇඳිරි නීතියේ අමිහිරි අත්දැකීම් තියෙනවා. මේ සියල්ල සලකා බලද්දී අපිට රට වසා දමා අපේ ජීවිත පවත්වාගෙන යන්න බෑ. අපිට කළ හැකි හොඳම දේ තනි තනිවම කොරෝනාවට එරෙහි සමාජ වගකීම් ඉටු කිරීමයි. ඒ ගැන නිර්මාණාත්මකව සමාජයට කියන්නට අපට අවශ්‍ය වුණා. යක්කු සංකල්පය අපිට ඒ සඳහා හොඳ මාවතක් සකස් කරදුන්නා.” යැයි පැවසීය.

සාමාජීය යහපැවැත්ම උදෙසා තිරසර නිෂ්පාදන සංස්කෘතියක් පවත්වාගත් Rainco පුද්ගලික සමාගමේ ව්‍යාපාරික මෙහෙවර තුළ, ව්‍යාපාරික සාමාජ වගකිම් නිසිලෙස ඉටුකෙරෙන පසුබිමක් සකසා ඇත. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් සමග එක්ව කටයුතු කරමින් COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා ක‍්‍රියාත්මක වූ ශ්‍රී ලාංකීය සමාගම් අතර කැපීපෙනෙන දායකත්වයක් දැක්වූ Rainco පුද්ගලික සමාගමේ ව්‍යාපාරික මෙහෙවර පිළිබඳ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස් මහතා අදහස් දක්වමින් ”40 වසරකට අධික කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීය සමාගමක් බවට පත්වෙමින් අපගේ ව්‍යාපාරික මෙහෙවර තුළ මිලියන ගණනාවක් ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව හා රැකවරණය සලසා දී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් කිනම් හෝ මොහොතක කිනම් හෝ අසීරුතාවකට මුහුණ පෑ විගස අප ශ්‍රී ලාංකික සමාගමක් ලෙස අපේම මිනිසුන්ගේ රැකවරණය උදෙසා ඉදිරිපත් වුණා. කොරෝනාවෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරගැනීමට අප මේවනවිටත් මුඛ ආවරණ බෙදාහැරීම්, අත් සේදීමේ උපාංග කට්ටල සවිකිරීම් වැනි ව්‍යාපෘතින් ගණනාවකට දායකවී තිබෙනවා. කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාමට රුපියල් මිලියන 2.4 ක වටිනාකමකින් යුක්ත පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල (PPE) පරිත්‍යාගකොට තිබෙනවා. මුළු ලොවම ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක අපේ රටේ මිනිසුන් රැකගන්නට දිවා  රැ නොබලා වෙහෙසෙන සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා වගේම වගකිවයුතු රාජ්‍ය ආයතනවල මෙහෙවරට ශක්තියක් වෙමින් කොරෝනාවට එරෙහි ජනමතයක් ගොඩනැගීමට මැදිහත්වීම ගැන අපට දැනෙන්නේ ව්‍යාපාරික වගකීමක් ඉටුකිරීමටත් වඩා සාමාජීය යුතුකමක් ඉටු කළා යැයි තෘප්තිමත් හැඟීමක්.”  යැයි පැවසීය.

ආකල්පමය වෙනසක් තුළින් සෞඛ්‍යාරක්ෂණ පුරුදු හුරුවෙමින් නිවසේදීත් බාහිර පරිසරයේදීත් තමාගේත් අනෙකාගේත් ආරක්ෂාව පිළිබඳ වගකීම් සහගත දිවිපෙවෙතක් ගතකිරීම හරහා ගෝලීය වසංගතයෙන් රටක් වශයෙන් සුරක්ෂිතවන්නට “යක්කු” වාගේ පෙරට එමු යැයි Rainco පුද්ගලික සමාගම සමස්ත ශ්‍රී ලාංකීය ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි.