පාර්ලිමේන්තුවේ 3000 කෑම වේලක් මන්ත්‍රීවරුන්ට දෙන්නේ රු.200 ට : නවක මන්ත්‍රීවරුන් ගේ වැඩමුළුවේ උණුසුම් වෙයි

August 27, 2020 at 8:06 AM

රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත‍්‍රීවරයකුට ලබාදෙන බවට පාර්ලිමේන්තු නිලධාරියකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් නවක මන්ත්‍රිවරුන් සඳහා පැවැති පාර්ලිමේන්තු වැඩමුළුව ඊයේ සවස දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගත්තා.

පාර්ලිමේන්තුව මූල්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඒ. එස්. උපනන්ද විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ යන මාතෘකාව ඔස්සේ කරන ලද දේශනයට මෙම විරෝධය එල්ල විය.

මන්ත්‍රිවරයෙකුට රුපියල් 200 ක මිලට දහවල් ආහාර වේල ලබා දුන්නත් එය රුපියල් 3000 ක් පමණ වටිනා බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ. ඔහු එම ප්‍රකාශය සිදුකිරීමත් සමග නවක මන්ත්‍රිවරු ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී වූහ.

රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල :

මේ කෑම වේල රුපියල් 3000 ක් වටිනවද? අපි මේ දවස් දෙකේ ඔය කියන ආහාර වේල ගත්තා.

මන්ත්‍රිවරු :

රුපියල් 3000 කෑම වේල 200 ට දෙනවා කිව්වම අපිටත් ලැජ්ජයි. පිනට කනවා වගේ. ඔය කතාව සමාජගත කරන්න එපා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත :

රුපියල් 3000 ක් තරම් මේ කෑම වේල වටින බව අපට පේන්න නැහැ. අපිට පුළුවන් ගෙදරින් කෑම ගෙනවිත් කන්න. අපි කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු කෑම එපා.

රාජ්‍ය ඇමති සීතා අරඹේපොල :

පළමු දවසෙ ගෙදර ගිහින් මම හිතුවා වැරදි තැනකින් කෑම ගත්තද කියල. තුන්දහසේ බුෆේ එක කොහේද කියලා මම හොයලා බැලූවා. මෙවැනි වැරදි මත සමාජගත වූ නිසා තමයි මිනිස්සු පාර්ලිමේන්තුවට වෛර කරන්නේ.

සහකාර ලේකම් ටිකිරි ජයතිලක :

මන්ත‍්‍රීවරුන් දෙසිය විසිපහෙන් කෑම එකක් නොකාපු අයත් ඉන්නවා.

මන්ත්‍රිවරු :

මේ වැදගත් සමුළුවේ අන්තිමට මාධ්‍ය වල යන්නේ ඔය කතාව? අපි ආසාවෙන් හිටියා මේ වැඩමුළුවේ. දැන් කනගාටු වෙනවා. හොඳ වෙලාවට පබ්ලික් මීඩියා අකුලගෙන ගිහින්. දවස් දෙකම ඉවරයි මේ වචනෙත් එක්ක. මේ වගේ දෙයක් මාධ්‍යයට ගියොත් ඔක්කොම ඉවරයි. ගෙදරටවත් යන්න විදිහක් නැති වෙනවා. අපි අපහසුතාවයට පත් වෙනවා. අපි පිටින් කෑම ගේන්නම්. කෑම එකේ රුපියල් 200 අපට දෙන්න.

මේ පිරිවැය වැරදියි. ඕනෙ නම් අපි පිරිවැය හදලා දෙන්නම්. 225 දෙනාම එළියෙන් කෑම ගෙනාවා නම් හොඳයි.

නියෝජ්‍ය ලේකම් :

ඉදිරියේදී තීරණය කරමු. දැන් විගණන අංශයෙන් පණිවුඩයක් ආවා. මාළු කෑම එක 951 ක් වෙනවා. එළවළු කෑම එක රුපියල් 629 ක් වෙනවා.

මූල්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඒ. එස්. උපනන්ද :

මා කළ ප්‍රකාශය ගැන මම සමාව ගන්නවා.