බුලත් විටටත් වැට බැඳෙන ලකුණු : දිනකට මුඛ පිළිකා නිසා පුද්ගලයින් තිදෙනෙක් මියයන බව හෙළිවෙයි

August 26, 2020 at 9:53 AM

දුම්කොළ මිශ‍්‍ර බුලත් විටි කෑම නිසා මුඛ පිළිකාව වැළඳී දිනකට ශ‍්‍රී ලාංකිකයින් තිදෙනකු බැගින් මියයන බව හඳුනාගෙන තිබෙනවා. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් කරන ලද සමීක්ෂණයක් මගින් මේ බව හඳුනාගෙන ඇති අතර, එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසන්නේ මේ තත්ත්වය මත හා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට අනුකූලව දුම්කොළ අඩංගු විට වර්ග විකිණීම හා ප‍්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කිරීමේ තීරණය තදින්ම සමාජය තුළ ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

එමෙන්ම දුම් පානය මගින් සෑම තත්පර හතරකට වරක් ලෝකයේ එක් පුද්ගලයකු බැගින් මිය යන බවත් ඒ අනුව ශ‍්‍රී ලංකාවේ දී දුම්කොළ අඩංගු බුලත් විටි සපා මියයන සංඛ්‍යාවට සමාන ගණනක් එනම් තිදෙනකු දුම් පානය නිසාද මිය යන බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වුවත් මෙරට වැඩිම පිරිසක් මිය යන්නේ මත්පැන් පානය හේතුවෙන් බවයි හෙළිවී ඇත්තේ. වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කරන්නේ එම ප‍්‍රමාණය දිනකට 20 – 25 ත් අතර ප‍්‍රමාණයක් බවයි.