දැරියක් කෙළෙසු නමක් ගමක් නොදන්නා සැකකරු වසරකට පසුව දුරකථන අංකයෙන් කොටු වෙයි : දැරිය දැන් එක් දරු මවක්

August 26, 2020 at 12:26 PM

වයස අවුරුදු 15ක දැරියක් ගැබිනියක් කර පළා ගොස් සිටි සැකකරුවෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජූනි මාසයේ දිනක සිය දෙමව්පියන් ඇති වු ආරවුලක් හේතුවෙන් නිවසින් පිට වු එම දැරිය මහනුවර පදිංචි සිය මාමාගේ නිවසට බස්රථයක නැගී යන අතරතුර දී සැකකාර තරුණයා මුණගැසී තිබෙන අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනැඟී ඇත.

එම සම්බන්ධයෙන් මසකට පමණ පසු අදාළ සැකකාර තරුණයා විසින් දැරියව දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වා ඉන්පසු ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස දින කිහිපයක් ජීවත් වී ඇති බවයි කරුණු හෙළිවී ඇත්තේ.

ඉන් පසුව එම තරුණයා දැරියව පිටකොටුව බස් නැවතුම්පොළට මෙම තරුණයා විසින් ගෙනැවිත් ඇරලවා ඇති අතර ගර්භනී තත්ත්වයට පත්ව ඇති එම දැරිය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දියණියක් බිහි කර ඇත.

ඒ පිළිබඳව රෝහලේ වෛද්‍යවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබෙන අතර සැකකරු පිළිබඳ කිසිදු තොරතුරක් අදාළ දැරිය නොදන්නා බැවින් ඇයට දුරකථන ඇමතුම් ලබා දුන් අංකය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා තිබේ.

එමඟින් සොයා ගත් තොරතුරු මත සැකකාර 22 හැවිරිදි තරුණයා මුන්නේෂ්වරම් කෝවිල අසල පලතුරු කඩයක රැකියාව කරන අයෙක් බවට අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට එම ස්ථානයට යන විට ඔහු පළා ගොස් ඇති අතර පසුව සිදුකළ විමර්ශනවලදී තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ.