කොරෝනා යලි රට තුල ව්‍යාප්තවීමේ අවධානමක් ඇති මගක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

August 26, 2020 at 9:16 AM

ඉන්දියාවේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගතය පැතිරි යෑමේ වැඩි අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

PCR පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙකු මේ දක්වා සමාජයෙන් වාර්තා වී නොමැති බවයි මෙහිදී වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ දිනය තුලදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2971ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2816ක් වනවා. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 143ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 1,580ක් සිදුකර තිබෙන අතර මෙරට මේ දක්වා සිදුකළ සමස්ථ PCR පරීක්ෂණ ගණන 211,090ක් වේ.

.