මුළුතැන්ගෙයි සහ ගෘහ උපකරණ කිහිපයක් ලංකාවට ගෙන ඒම සිමා කිරිමට රජයේ අවධානය

August 25, 2020 at 5:14 PM

මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරන කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඇලූමිනයම් භාණ්ඩ ඇතුළු ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කල හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කිරීමටයි යෝජනා වී ඇත්තේ.

එහි ප්‍රධාන අරමුණ මෙරට මැටි කර්මාන්තය දියුණු කිරීමයි.

මෙම කරුණු අනාවරණ වුයේ අලූතින් පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාර්ය පිළිබඳව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ගෘහ කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සමග සිදු කළ සංවාදයේදීයි.

එහිදී ඔහු කියා සිටියේ මෙරට ගෘහ ඒකක සඳහා අවශ්‍ය මැටි භාණ්ඩ කඩිනමින් නිපදවීමට සැලසුම් සකස් කර ඇති බවයි.

කොස්ස, ඉදල, මේස, පුටු ඇතුළු ප්ලාස්ටික ගෘහ භාණ්ඩ වෙනුවට මෙරට නිෂ්පාදිත ලී භාණ්ඩ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්ද සකස් කර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. ඒ සඳහා විශේෂිත ආයතනයක්ද පිහිටුවීමට නියමිතයි. එමෙන්ම දරුවන් ඉතිරි කිරීමට හුරු කිරීම වෙනුවෙන් බැංකුවලින් ලබා දෙන ප්ලාස්ටික කැට වෙනුවට මැටි කැට ලබා දීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ගුණාත්මක භාවයෙන් යුත් දේශීය නිෂ්පාදන වෙළදපොළට පැමිණෙන විට ග්‍රාමීය කර්මාන්ත දියුණු වන බවයි.

කර්මාන්තකරුවන්ට වෘත්තීමය ගෞරවයක් සහ වටිනාකමක් ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර කාර්යාලවල, රථවාහනවල, නිවෙස්වල ජලය ගබඩා කිරීමට වීදුරු බෝතල් වෙනුවට මැටි බෝතල් හදුන්වා දීමටද රජයේ අවධානය යොමුව තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීරද ප්‍රකාශ කර ඇත්තේ ප්ලාස්ටික් සහ ඇලූමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර දැමිය යුතු බවයි.

( උපුටා ගැනීම : nethnews.lk)