කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 දෙනා ගැන තීන්දුව හෙටට කල් යයි

August 24, 2020 at 10:22 AM

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවනවාද නැද්ද යන්න නියෝගය හෙට දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත් කළ නියෝගය හෙට දින තෙක් දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මෙම නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් සහ සෝභිත රාජකරුණා මහත්වරුන් විසින් නිකුත් කරන ලදී.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

තමන් අත්අඩංගුවට ගැනීමට අගොස්තු මස 5 වෙනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.