විග්නේෂ්වරන්ගේ මංගල කතාවට විපක්ෂයෙන් විරෝධය

August 21, 2020 at 2:28 PM

09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි සි. වී. විග්නේෂ්වරන් ඊයේ (20) සිදුකළ ප්‍රකාශයට විපක්ෂයෙන් අද (21) විරෝධයක් එල්ල වුණා.

විපක්ෂය නියෝජනය කරමින් සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි සී. වී. විග්නේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය වහාම හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන බව මන්ත්‍රිවරයාගේ යෝජනාවට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

එහිදී “අපි දිවුරුම් දෙනකොට මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ සඳහා අනියමින් හෝ ආධාර අනුබලදීම අපි සිදු කරන්නේ නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ අපි දිවුරුවා. නමුත් මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකික ලෙස ජනතාව පිළිගන්න තැනට රටම ඇවිත් තියෙන වෙලාවේ දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව සහ නිජභූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට ඊයේ විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කළා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි.” යනුවෙනුයි සඳහන් කළේ.