රුසියානු කොරෝනා එන්නත ලංකාවටත්

August 21, 2020 at 5:53 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව විසින් නිපදවනු ලැබූ  නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි සමග අද (21) පැවති විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයේ දී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග හා ඒ තුළින් එම තත්ත්වය සාර්ථකව මර්දනය කළ හැකි වු බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකළ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පුදකර සිටින බව මෙහිදී අමාත්‍යතුමිය සඳහන් කළා.

මේ පිළිබඳව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි සඳහන් කළේ, දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩලවලට වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.