නව පාර්ලිමේන්තු සැසිවාරය (LIVE)

August 20, 2020 at 8:13 AM

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද පෙරවරු 09.30ට  ආරම්භ වුවා.

පළමු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණිමට නියමිතයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145ක් හිමිකර ගනිමින් බහුතර බලයක් ලබා ගනු ලබුවා.

සමගිජ ජල බලවේගයට මන්ත්‍රීධුර 54ක් ද ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට මන්ත්‍රී ධුර 10ක් ද ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 03ක් ද හිමිවිය.

ඊලාම් ජනතා ප්‍රාජාතන්ත්‍රවාදි පක්ෂයට මන්ත්‍රී ධුර 02ක් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට මන්ත්‍රීධුර 02ක් හිමිව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, අපේ ජන බල පක්ෂය, තමිල් මක්කල් ඉදුදලේ පුලිහල්, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කුට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් මන්ත්රීල ධුරය බැගින් හිමිකර ගෙන සිටිනවා.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙතෙක් නම් කර නොමැති බැවින් එම මන්ත්‍රී ආසන තවදුරටත් හිස්ව පවතී.

මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්විම නියෝජනය නොකරන නිදහසින් පසු පළමු අවස්ථාව මෙය වනවා.

මෙවර පාර්ලිමේන්තුට තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් 81 දෙනෙකුම පළමු වරට තේරීපත් වූ අය වීම විශේෂත්වයක්.

වයස අවුරුදු 25ත් 40ත් අතර මන්ත්‍රීවරුන් 25 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින අතර තේරීපත් වූ ලාබාලම මන්ත්‍රීවරයා වන්නේ ජීවන් තොණ්ඩමන්ය.

වයස අවුරුදු 41ත් 50ත් අතර මන්ත්‍රීවරුන් 67 දෙනෙකු සිටින අතර 51ත් 60ත් අතර මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඇතුළත් වේ.

වයස අවුරුදු 61ත් 71ත් අතර මන්ත්‍රීවරුන් 37ක් ද අවුරුදු 71ත් 80ත් අතර මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර අවුරුදු 81ත් 90ත් අතර මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.

නව වන පාර්ලිමේන්තුව සඳහා කාන්තා මන්ත්‍රීවරියන් 12 දෙනෙකු ද ඇතුළත්ව සිටියි.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර බන්ධනාගාර ගතව සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී ඇතුළත්ව සිටිම විශේෂත්වයකි.

අද ආරම්භ වන පාර්ලිමේන්තු සභා වාරය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ.

මෙවර පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා මහින්දයාපා අබේවර්ධන පත් කිරිමට මේ වන විට යෝජනා වී තිබේ.

නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත් කිරිමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තු වේ නව තනතුරු සඳහා නියෝජිතයින් පත් කර ගැනිමෙන් අනතුරුව සභාව පස්වරු 03.00දක්වා කල්තැබීමට නියමිතය.

අනතුරුව පස්වරු 03.00ට නවවැනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරිම සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ.