පිටිපනට ගිනි අවි රැගෙන යන්න සහය දැක්වූ මාධ්‍යවේදියා CID අත්අඩංගුවට

August 19, 2020 at 7:07 PM

හෝමාගම පිටිපන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබූ ගිනි අවි තොගයක් එම ස්ථානයට ප්‍රවාහනය කිරිමට ආධාර උපකාර කළ බව කියන මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනියුක්තව සේවය කරනු ලැබූ නිලධාරීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු අනුව මෙම මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් වසංගතය පැවති කාලයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් ආරක්ෂක අංශ නොමග යවමින් දැනට රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරුවෙකුට අයත් වෑන් රථයක මාධ්‍යවේදී පුවරුව ප්‍රදර්ශනය කර, සිය මාධ්‍ය හැඳුනුම්පත අවභාවිතා කර එම වෑන් රථයේ ඉදිරිපස ගමන් කරමින් නීතිවිරෝධී ගිනි අවි හෝමාගම පිටිපන ප්‍රදේශයට රැගෙන ඒමට සහය වෙමින් එම ගිනි අවි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වෙත හා විවිධ පුද්ගලයින්ට ලබාදීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් මෙලෙස සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

මේ වන විට සැකකරු රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකෙරමින් පවතී.