තනි දුම්වැටියට සහ කාලේ බෝතලයට තිත

August 19, 2020 at 11:10 AM

මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

මෙසේ අලෙවි කිරීමේදී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්, ඉවතලන බෝතල් නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමත් මෙහි අරමුණ බවයි මෙහිදී සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

2006 අංක 27 දරණ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ පනතෙහි ඇතැම් කරුණු කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි කී සභාපතිවරයා ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ආශීර්වාදයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කළා.

සිගරට් හා මධ්‍යසාර මත මේ වන විට පනවා තිබෙන බදු කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී සභාපතිවරයා බදු මගින් ලබාගන්නා මුදල මෙන් කිහිප ගුණයක අති විශාල මුදලක් සිගරට් හා මධ්‍යසාර භාවිතයෙන් ජනතාවට ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය වැය කරන බවයි කියා සිටියේ.

එමෙන්ම තනි සිගරට්ටුව අලෙවි කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමේ යෝජනාවක් 2019 වසරේදී දෙවරක්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය ඉදිරියට ගෙනයාමට නොහැකි වී ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.