දක්ෂිණ අධිවේගී මාර්ගයේ CCTV පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය

August 18, 2020 at 12:33 PM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත දක්වා 250KMක කොටසේ පාලන කටයුතු ගැලණිගම අන්තර් හුවමාරුවේ පිහිටි පාලන මැදිරිය මගින් සිදු කරනු ලැබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියළුම අනතුරු හා ආපදා දැනුම්දීම, සාමාන්‍ය තොරතුරු ලබාදීම, මෙහෙයුම් හා නඩත්තු කටයුතු ආදී අධිවේගී මාර්ගයේ මෙහෙයුම් සදහා අවශ්‍යතා මෙම පාලන මැදිරිය හරහා ක්‍රියාත්මක වන අතර 1969 අංකය ඔස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන සියළුම මෙහෙයුම් කටයුතු සිදුවන ප්‍රධාන පාලක ස්ථානය වන්නේ මෙම පාලන මැදිරියයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රථයක් ආපදාවන්ට හෝ අනතුරකට ලක් වීමේදී 1969 අංකය අමතා මෙම පාලන මැදිරිය හා සම්බන්ධ වීමට හැකියාව ඇති අතර එම අවස්ථාවේදී පාලන මැදිරි නිළධාරින් විසින් අවශ්‍ය තොරතුරු ලබාගෙන අදාල රථවාහන පාලන ඒකකයට, පොලිස් අංශයට හෝ ආපදා සේවා රථ සදහා දැනුම්දීම කරනු ලැබේ. මීට අමතරව හදිසි ගිනිගැනීම්, රිය අනතුරු සදහා විශේෂ පුහුණුව ලත් විශේෂ කාර්ය බලකාය අනුඛන්ඩයක් යොමු කිරිම ද මෙම පාලන මැදිරිය හරහා සිදු වේ.

මෙම අධිවේගී මාර්ගය භාවිතා කරන පාරිභෝගික ජනතාවට තොරතුරු ලබා දීම සදහා අධිවේගී මාර්ගය තුල හා පිටත මාර්ගයේ ස්ථාපනය කර ඇති VMS පුවරු 29ක් හා අධිවේගී මාර්ගයට ඇතුළුවන ස්‍ථානයේ මෑතකදී සවි කල විද්‍යුත් පුවරු පාලනය කිරිමද ගැලණිගම පාලන මැදිරියේ ප්‍රමුඛ කාර්‍යයක් වේ.

මීට අමතරව ගැලණිගම පාලන මැදිරියතුල CCTV අංශය ක්‍රියාත්මක වන අතර සම්පූර්ණ අධිවේගී මාර්ගය පැය 24 පුරා නිරික්ෂණය වන CCTV කැමරා 450කට වැඩි ප්‍රමානයකින් ආවරණය කර ඇත. අන්තර් හුවමාරුවකින් වාහනයක් ඇතුළුවීමේ සිට පිටවීම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය නිරික්ෂණය කිරීම මෙම අංශයයේ ප්‍රමුඛ කාර්‍යය වන අතර සියලුම මුදල් ගණුදෙනු හා ටිකට්පත් පරික්ශාව ඇතුළු පාලන මැදිරියට හා අධිවේගී මාර්ග පොලිසියට මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්ව ලබා දෙයි.