බන්ධනාගාර නිලධාරියෙකු කංජිපානි ඉම්රාන්ට වදින වීඩියෝවක් ආරක්ෂක ලේකම්ගේ අතට

August 16, 2020 at 9:57 AM

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු ඔහු රඳවා සිටින සිරකුටියට ගොස් වදින වීඩියෝවක් තමන්ට ලැබී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා. ඔහු කියා සිටියේ රජය විසින් මෙවැනි අපරාධකරුවන්ගේ ක්‍රියාවන් මැඩලීමට කෙතරම් උත්සහ දැරුවද ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම විවිධ නිලධාරීන් ගේ සහය මෙම අපරාධකරුවන්ට ලැබෙන බවට කරුණු වාර්තා වෙමින් පවතින බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධීන්ට සම්බන්ධවූ නිලධාරීන් සතුව තිබු රුපියල් කෝටි 40 ක් වටිනා මුදල් සහ දේපළ සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවූ බවද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.

පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරකරගෙන සිටි පමණින් එම අපරාධ මැඩලීමට හැකියාවක් නොමැති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා සිදුකරමින් යන විමර්ශන වලදී වසර දෙකක් රුපියල් කෝටි 30 කට අධික මුදලක් හුවමාරු කළ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට සමත්වූ බව කියා සිටියා. එම බංකු ගිණුම හරහා හුවමාරු කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලද මුදල් බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් බැංකු නිලධාරින්ද වගකිවයුතු බව කියා සිටියා.

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තවත් වසර 05 ක කාලයක් රිසි සේ තමුන්ගේ කටයුතු මෙරට සිදුකරගෙන ගියා නම් අවම වශයෙන් මෙරට පුරවැසියෙකුට නිදහසේ සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට හෝ ඉඩක් නොලැබෙන පරිසරයක් නිර්මාණය වීමට ඉඩ තිබු බවද ප්‍රකාශ කර සිටියා.