මන්ත්‍රීකම අයිති මාළිමාවේ මිනිසුන්ට : ජාතික ජනබල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය

August 14, 2020 at 3:55 PM

# දැන් ඔබයි ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරිය. නාම යෝජනා දෙද්දී මාලිමාවේ ජාතික ලයිස්තුවේ ඔබ සිටියේ පස්වෙනියට. ඉදිරියෙන් හිටපු සිව්දෙනා වෙනුවට කොහොමද ඔබව තෝරාගනු ලැබුවේ?

පළමුවෙන්ම කියන්න ඕනේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි. මාව තෝරාගත්තේ මාලිමාවේ සංවිධායක සියල්ලන්ගේම යෝජනා එකඟතාවයෙන්. ඒක මුලින්ම කියන්නේ ඒ සියල්ලන්ටම ගෞරවයෙන්.

ඒ වගේම පැහැදිලිවම කියන්න ඕනේ මේක මගේ මන්ත්‍රීකම නෙමෙයි. මේක මාලිමාවට අයිති මන්ත‍්‍රීකමක්. ඒ කියන්නේ අරමුණක් වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ හතරක් ඉක්ම වූ මිනිසුන්ට අයිති මන්ත්‍රීකමක්.

අපි ජාතික ජන බලවේගය විදිහට මාලිමාවේ ජාතික ලැයිස්තු නාම ලේඛණය සකස් කළේ නිකන්ම නිකන් හිස් කොලයකට නම් 29ක් ලියලා නෙමෙයි. ඒ නම්වලට අදාලව අනුපිළිවෙලක් හැදුවේ සිංහල හෝ ඉංග්‍රීසි ආකාරාදියේ පිළිවෙලට නෙමෙයි. ඒකට ක්‍රමයක් , විදිහක්, පිළිවෙලක් තිබුණා. ඔබේ ප්‍රශ්නය වෙනුවෙන් ඒ ක්‍රමය ගැන මට දීර්ඝ විස්තරයක් කියන්න බැහැ. කෙටියෙන්ම කිව්වොත් අපි 29 දෙනාම ඒකමතිකව එකඟ වුණු ඉතාමත් නිරවුල් ක්‍රමයක් අනුවයි අපි ඒ අනුපිළිවෙල හැදුවේ.

# ඔබ කියන ඒ අනුපිළිවෙලට ගත්තොත් මාලිමාවේ ජාතික ලැයිස්තුවේ ඔබට කලින් තවත් සිව් දෙනෙක් ඉන්නවා. ඒ ලැයිස්තුවේ පළවෙනියා බිමල් රත්නායක. ඔහු කාලයක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අත්දැකීම් තිබුණු කෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායකවරයා. ඔහුට සාපේක්ෂව ආචාර්ය හරිනි අමරසූරිය කොහොමද මන්ත්‍රීධුරයට සුදුසු වෙන්නේ?

හරියටම හරි. ඔය ප්‍රශ්නයම තමයි අපිටත් තිබුණේ. ඒත් ජනතා විමුක්ති පෙරමුණ ඒ අවස්ථාව පළමු වටයේදීම ප්‍රතික්ෂේප කළා. පෞද්ගලිකව බිමල් සහෝදරයාත් ඒ අවස්ථාව එපා කිව්වා.

පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණේ සහ පුද්ගලයෙක් විදිහට බිමල් සහෝදරයාගේ ඒ ස්ථාවරය මාලිමාවේ අපිව පුදුම කළා. ඔබ දන්නවා අපි දැන් කාලයක් තිස්සේ ජවිපෙ එක්ක සමීපව වැඩ කරන බව. අපි කාලයක් වැඩ කිරීමේ අත්දැකීම එක්ක තමයි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ. සංවිධානයක් විදිහට එකට එක්ව වැඩ කරද්දීත් අපි අපි අතර සමහර දේ ගැන විවිධ වෙනස්කම් මතු වුණා. ඒ හැම අවස්ථාවකම අපි සාමුහිකව සාකච්ඡා කරලා ඒ වෙනස්කම් විසඳා ගත්තා. එතරම් අවබෝධයකින් මැතිවරණ අවස්ථා දෙකකට සාමුහිකව මුහුණ දී ලබාගත් අවබෝධය ඇතුව වුනත් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීකම ගැන ජවිපෙ ස්ථාවරය ගැන පුදුම නොවී ඉන්නේ කොහොමද?
අපි හැමෝම කිව්වේ මාලිමාවට හිමි එකම එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය ගන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ කියලයි. මොකද අපි බොහෝ දෙනෙක් වෘත්තීය දේශපාලනඥයෝ නෙමෙයි . අපි බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු දේශපාලනයේ අත්දැකීම නැහැ. අපි වඩාත් දක්ෂ විෂයක් තියෙනවා නම් ඒ අපේ වෘත්තිය ක්ෂේත‍්‍රයන්ට අදාල විෂයන්. ඉතින් එහෙම එකේ එකම එක මන්ත‍්‍රීධුරය අපිට නෙමෙයි ඔබටයි අයිති කියන එක ජවිපෙ නොවන අපේ පැත්තෙන් ආපු ඉතාමත් සාධාරණ යෝජනාවක්.

ඒත් ජවිපෙ කිව්වේ ඊට වඩා වෙනස් දෙයක්. ඔවුන් අපේ වෘත්තීන්, විෂයානුබද්ධ අත්දැකීම්, අපේ වෘත්තීය දැනුම සහ අප කළ යම් යම් කැප කිරීම් අගය කළා. ජවිපෙන් පිට හිටපු අපට අපි කළ ඒ දේවල් සුළු කරුණු විදිහට හැඟුනත් ජවිපෙ ඒවා අගය කළා. සාමූහික අරගලයක ලොකු පොඩිකම් වෙනුවට සමානයන් සිටින බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කළා.

ඒ නිසයි ඔවුන් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය ජවිපෙ නොවන අයෙකුට දෙන්න තීරණය කරන යෝජනාව ගෙනාවේ.

# ඔබ ශ්‍රී  ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරියක්. එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ අයෙක්. ඔබේ ආචාර්ය උපාධි නිබන්ධනය ශ්‍රී  ලංකාවේ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා සම්බන්ධයෙන්, නිලධරය තුළ රාජ්‍යය, සංවර්ධන ප්‍රතිපත්තිය සහ භාවිතයන් අතර ඇති සම්බන්ධතාවයට අදාළව කළ එකක්. ඔබ ප්‍රමාණිකව මෙරට සහ විදේශයන්වල අධ්‍යන කවයන් තුළ ඇගයීමට ලක් වූ කෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණ මේ සිදු කරන්නේ ඔබේ ඒ වටිනාකම තමන්ගේ දේශපාලනයට යොදාගැනීම කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

සහතිකවම ඔබ ඒ ගැන මගෙන් අහනකම් මට ඒ ගැන හිතිලා තිබුණේ නැහැ. බොහොම ස්තුතියි ඔබ ඒ පිළිබඳව මගේ අවධානය යොමු කළාට.

ඔබ ඒ ප්‍රශ්නය අහපු ගමන් මට දැනුනේ සතුටක්. ජනතා විමුක්ති පෙරමුණ වගේ කැපකිරීම් සහිත අවංක උවමනාවක් ඇති කණ්ඩායමක් සමාජයේ එවැනිම පිරිසක් එක්ක ගොඩනගපු මමත් ඉන්න දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. ඔබ ඔය මට තියෙනවා කියන වටිනාකම් ඒ බලවේගයේ දේශපාලනයට යොදා ගන්නවානම් ඊටත් වඩා සතුටක් වෙන කොයින්ද?

සමහරවිට හෙට වෙද්දී තව උදවිය කියයි “අන්න මාලිමාව හරිනි ව යුෂ් කරනවා…” කියලා. ඔව්, මම ඒ ගැනත් සතුටු වෙනවා. මොකද මම මාලිමාවට වැඩ කරනවා කියන්නෙම සාමාන්‍ය ඇහෙන් බැලූවොත් යූෂ් කිරීමක් තමයි.

මම විතරක් නෙමෙයි අනුර දිසානායක සහෝදරයා, සරෝජා පොල්රාජ් සහෝදරිය, උපුල් කුමාරප්පෙරුම සහෝදරයා, හර්ෂණ නානායක්කාර සහෝදරයා, ලාල් විජේනායක සහෝදරයා වගේ….. නමින් දන්නා බොහෝ සහෝදර සහෝදරියන් වගේම, රටේ බොහෝ දෙනා නොදන්නා සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් මෙතැනදී යුෂ් වෙනවා.

ඔබ දන්නවා අපි ජාතික ජන බලවේගය ගොඩනගන්න රටපුරා ඇවිද්ද බව. ඊට කලින් මට මගේ ජිවිතයේ කවදාවත් හමු නොවුණු ආදරණිය වගේම ගෞරවණිය මිනිසුන් ඒ ගමනේදී මුණගැහුණා. ඉතා සරු තැන්වල වගේම ඉතාමත් දුෂ්කර පීඩිත ජිවිත ගෙවන වැඩුණු මිනිසුන්, යෞවනයන්, ළමා ළපටින් මුණ ගැහුණා. ඒ තමයි ජීවිත. ඒ තමයි මගේ රට. ඒ තමයි අපේ බලාපොරොත්තුව.

ඉතින් ඒ වෙනුවෙන් මාව ‘පාවිච්චි කරනවා’ කියල දැනගත්තහම මට දැනෙන්නේ සතුටක්. ආඩම්බරයක්.

මම හිතුවේ හරිනි කියන්නේ සාමාන්‍ය ගැහැනියක් කියලයි. ඒත් දැන් ඔබ කියනවා පොදු බලාපොරොත්තුවක්, වගකීමක්, අරමුණක් වෙනුවෙන් හරිනිව ‘පාවිච්චි කරනවා’ කියලා. හරිනි අමරසූරිය විදිහට මට ලැබිය හැකි ඊටත් වඩා ගෞරවයක් කොහෙද තියෙන්නේ?

# හරිනි, ඔබ බලාපොරොත්තු සහගතවයි කතා කරන්නේ. බැලූ බැල්මට ඔබ සුබවාදියි. යමක් කිරීමේ උවමනාව තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද ඔබේ කේෂත්‍රයවූ විශ්ව විද්‍යාල අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ තව දුරටත් වැඩ කළානම් මේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයට වඩා වැඩි යමක් කළ හැකිව තිබූ බව?

මම මගේ කේෂ්ත්‍රය තුළ මට හැඟෙන අවංකබවින් වැඩ කළා. ඒ වැඩ කිරීමේ ප්‍රමාණය තක්සේරු කරන්නෝ මගෙන් අධ්‍යනය ලබපු ශිෂ්‍ය කණ්ඩායම්. මටනම් විශ්ව විද්‍යාල ඉගැන්වීම තෘප්තිමත් වෘත්තියක්. මම ඒ තෘප්තිය අත්වින්දා.

දැන් මට හිමිවුණු අභියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක්. මම මේ තීන්දුවට මුලදී දරුණු විදිහට අකමැති වුණා. මම හිතුවේ මේ වැඩේ හරිනි අමරසූරියට අයත් නොවන වැඩක් ලෙසයි. මම කිව්වේ මේක මට බර වැඩියි කියලයි. මාලිමාවේ අපි බොහෝ දෙනෙක් හිතන්නේ එහෙමයි. අපි ජාතික ලැයිස්තුවකට නම දැම්මේ මන්ත‍්‍රීකමක් බලාගෙන නෙමෙයි. අපි 29 දෙනාම එහෙමයි. අපි හැමෝම සමාජ, සස්කෘතික, දේශපාලන ක්‍රියාකාරකම්වල  නිරත වුණේ දේශපාලන පක්ෂයක, පෙරමුණක ඉඳගන්න නෙමෙයි. හැබැයි අපිට එන අභියෝග විශාල වෙනකොට අපි හැමෝම ඒ අභියෝග කැමැත්තෙන් බාරගත්තා.

අපි හැමෝටම පළමුවෙන්ම ආපු අභියෝගය තමයි දේශපාලන පෙරමුණක් ගොඩනැගීම. අපි හැමෝම එකතු වෙලා පැය ගණන්, වරු ගණන්, දවස් ගණන් සාකච්ඡා කරලා ඒ දේශපාලන පෙරමුණ හැදුවා. ඒ තමයි ජාතික ජන බලවේගය. මාලිමාව.

ඒ පෙරමුණට ජනාධිපතිවරණයක් තරග කරන්න උනා. ඒකට අපි අපේ අපේක්ෂකයා විදිහට අනුර කුමාර දිසානායක සහෝදරයාව කැමති කර ගත්තා. ඊට පස්සේ මහා මැතිවරණය. අපි එකටත් පෙරමුණ විදිහටම තරග කළා. මාලිමාව ඒ අභියෝගයටත් මුහුණ දුන්නා.

දැන් ඒ පෙරමුණින්ම මට සහෝදරාත්මක අභියෝගයක් ගෙනාවා. ඒ ‘හරිනි පාර්ලිමේන්තු එන්න ඕනේ’ කියන අභියෝගය. සාමූහික වගකීම. ඒ කළ සමූහ යෝජනාවට මුලින් බැහැ කිව්වත් වෘත්තීයවේදියෙක්, ගැහැනියක්, සමාජ ක්‍රියාකාරිනියක් විදිහට එය තර්කානුකුලව මග හරින්න මට සාධාරණ හේතුවක් සොයාගන්න බැරි වුණා. මම ඒ සාමූහික යෝජනාව බාරගත්තා. දැන් ඉතින් ආයෙමත් ඔබ අහපු ප්‍රශ්නය ගැන ලතවෙවී ඉන්න මට බැහැ. එතැන හිටියට වඩා වැඩි යමක් මම විසින් මෙතන කරනවාද නැද්ද යන්න අනාගතය විසින් තීරණය කරන දෙයක්.
දැන් මගේ සම්පුර්ණ උත්සාහය තමයි මට දුන්න මාලිමාවේ වගකීම අඩුවක් නැතුව ඉෂ්ඨ කිරීම.

( උපුටා ගැනීම : ලංකා)