කොවිඩ් නිසා අසරණ වූ ඕස්ට්‍රේලියාවේ සියලු ජාතීන්ට නිවෙස් වලටම ගොස් උපකාර කරන මනුසත්කමේ එකමුතුව (PHOTOS)

August 14, 2020 at 12:29 PM

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රැකියා අහිමිව සිටින ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින් ඇතුළු බහු සංස්කෘතික ජාතින් රැසක් සඳහා සහන සැලසීමට ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග අත්වැල් බැඳ ගත් ස්වේච්ජා සංවිධානයක් පියවර ගෙන තිබෙනවා.

We Care Victoria නම් වූ මෙම ස්වේච්ජා සංවිධානය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රැකියා අහිමිවී සිටින ලාංකිකයින් ඇතුළු විවිධ ජාතින් නියෝජනය කරනු ලබන පුද්ගලයින් හට සහල්, පරිප්පු, තේ කොළ, සීනි, ටින් මාළු, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩ සිටින අකරවිට සංගානන්ද හිමියන්ගේ අනුශාසනාවන් මැදයි.

මෙම ස්වේච්ජා සංවිධානයේ ලේකම් වශයෙන් කටයුතු කරනු ලබන විරාජ් ගමගේ සඳහන් කළේ පළමුව පවුල් 500ක් ඉලක්ක කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් කළද පසුව ලද ඉල්ලීම් මත මේ වන විට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කට්ටල 1000ක් ලබාදීමට සිය සංවිධානයට හැකිවූ බවයි.

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය සංස්කෘතික හා රේගු කටයුතු අමාත්‍ය ජේසන් වුඩ් සහ We Care Victoria ස්වේච්ජා සංවිධානයේ සභාපති රන්ජිව පෙරේරා සහ එහි සාමාජිකයින් වන වර්නන් තිසේරා, දිනේෂ් රාමණායක, පැතුම් තිලකසිරි, උපාලි විජේවර්ධන, ගෝතම හේවාවිතාරණ, ගසාන් ඛාන් ( සිංගප්පුරු ජාතික), නව්ෂාඩ් ඇතුළු පිරිසකගේ උපකාර මත මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

සිය සංවිධානය විසින් ඉදිරියේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රෝහල් සහ පොලිස් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සේවය ඇගයිම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි We Care Victoria සංවිධානයේ ලේකම් විරාජ් ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.