චීනයට ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයේ කොව්ඩ් රෝගීන් 23ක්

August 13, 2020 at 11:45 AM

චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ගුවන් ගමන් සේවා තුනක් තාවකාලිකව අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා පාළනාධිකාරිය තීරණය කොට ඇති බව Xinhua පුවත් සේවය නිවේදනය කර සිටිනවා.

අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් සඳහා ද ශ්‍රී ලංකාවේ සිට ෂැංහයි බලා ගමන් කරනු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සති 04ක කාලයක් සඳහා තහනම් කොට ඇති බවයි එම මාධ්‍ය වාර්තා වේ දැක්වෙන්නේ.

මෙම ගුවන් සේවා මගින් ඉකුත් දින කිහිපයේදී චීනයේ ෂැංහයි නුවරට පැමිණි මගීන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම ඊට ප්‍රධාන හේතුව ලෙසයි Xinhua පුවත් සේවය වාර්තා කර සිටියේ.

ආගොස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි චීන සෞඛ්‍ය බලධාරින් තහවුරු කර ඇත්තේ.

මිට අමතරව අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඩුබායි සිට ෂැංහයි බලා ගමන් කළ යානයේ සිටි මගීන් මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට හෙළිවී ඇති බවයි.

ඩුබායි සිට ෂැංහයි බලා යමින් තිබු ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මද වෙලාවක් නතර කොට තිබු බවත්, එම ගුවන් යානයේ කිසිවකුත් මෙරටට ඇතුල්වුයේ වත් මෙරට කිසිවෙකුත් එම යානයෙන් චීනය බලා නොගිය බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ.