සමාජය තුළ කොරෝනා අවධානම පහව ගොස් නැහැ : ජනතාව අවධානයෙන් සිටීම වැදගත්

August 11, 2020 at 8:05 AM

සමාජය තුලින් කොරෝනා වෛරස පොකුරු නිර්මාණය වීමේ අවධානම තවම පහව ගොස් නැති බව වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවා සිටිනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මහජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුව සිය දෛනික කටයුතු සිදුකිරිම මගින් වෛරසයට නිරාවරණය නොවීමේ හැකියාව පවතින බවත් සමාජය තුළින් කොරෝනා පොකුරු ඇතිවීම වළක්වා ගත හැකි බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 27 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින් 27 දෙනා අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 දෙනෙකු හා සෞදි අරාබියේ සිට පැමිණි සිව්දෙනෙකු සිටින බව යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 267 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 2593 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.