චීනය ලෙස පෙනෙන හම්බන්තොට ගොඩනැගිල්ල ගැන චීනයෙන් සහ කැනඩාවෙන් ප්‍රතිචාර

August 11, 2020 at 10:46 AM

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, හම්බන්තොට ප්‍රදේශයේ ‘CHINA SW’ යන අක්ෂර හැඩයෙන් ඉදිකර තිබෙන ගොඩනැගිලි සමූහයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ වූ වාර්තා වලට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එකිනෙකට යාබදව පිහිටි එක් පරිශ්‍රයක පිහිටා ඇති ගොඩනැගිලි සමුහය ගූගල් සිතියම්වල මුලින්ම දැකගත හැකි වූයේ CHINA SLK වරාය සේවා, මිරිජ්ජවිල – සූරියවැව පාර, හම්බන්තොට යන ලිපිනය යටතේයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා පැහැදිලි කිරිමක් සිදුකරමින් ඔවුන් කියා සිටින්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමේදී මෙම ගොඩනැගිලි චයිනා වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් ‘CHINA ❤️ SLK’ ලෙස නිර්මාණය කර ඇති බවයි.

තානාපති කාර්යාලය තවදුරටත් කියා සිටියේ වරාය සංවර්ධනය කිරිමේ කටයුතු වේගවත් කිරිම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා (HIPS) සේවකයින් මෙහි නේවාසිකව සිටින බවයි. එම ගොඩනැගිල්ලට තවත් ගොඩනැගිල්ලක් එක්කල නිසා එහි අර්ථය දැන් වෙනස් වී ඇති බවයි චීන තානාපති කාර්යාල තොරතුරු පැවසුවේ.

“සංවර්ධනය හා ආදරය පිළිබඳ කතාවක්. #HambantotaPort වෙත සුබ පැතුම් යනුවෙන් චීන තානාපති කාර්යාලය නිකුත් කළ එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් කියා සිටියේ ඇතැම් විට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් ගෘහ නිර්මාණ ශිල්පීන්ට උපදෙස් දිය යුතු බවත් ඔවුන්ගේ පරිකල්පනයට අනුව ඉඩ දෙන බවයි.