අලි සබ්රිට අධිකරණ ඇමතිධුරය ලැබුනොත් රටට යහපතක් : දිලිත් ජයවීර තැබූ ෆේස්බුක් සටහන

August 10, 2020 at 1:14 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරුණු  ජනාධිපති නීතිඥ අලී සබ්රි හට නව අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ ඇමතිධුරය හිමිවෙනු ඇති බවට විශ්වාසය පළවී තිබෙනවා.

ජනාධිපති නීතිඥ අලි සබ්රි සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ.

” අලි සබ්රි දශක තුනක් තිස්සේ මගේ සමීපතම මිතුරෙක්. මගේ “විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයේ” දී හමුවූ ඔහු අදටත් එදා මෙන් ම එකම මතයක ඉදන් කටයුතු කරන කෙනෙක්.
වර්තමාන ජනාධිපති තුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තියන අසීමිත විශ්වාසය නිසා.

ඒ වකවානුවේ ඔහු එවකට ආරක්ෂක ලේකම් තුමාට මිග් ගනුදෙනුව මුවාවෙන් The Sunday leader පුවත්පත පළ කළ අපහාසාත්මක ලිපියට එරෙහිව නඩු දැමීම සඳහා ඔහු සම්බන්ධ කර වූවා.

එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට
නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.

ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකියි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.

ලංකාවේ ඉහලම පෙලේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.

ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරා වී.

Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි”.