මනාප ගණන් කිරිම ගැටළු සහගතයි : පොහොට්ටුවේ අපේක්ෂකයින් දෙදෙනෙක් අධිකරණයේ පිහිට පැතීමේ සුදානමක්

August 10, 2020 at 12:42 PM

පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ගණන් කරන අවස්ථාවේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු සඳහන් කරයි.

එම කටයුත්ත හේතුවෙන් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව ඇති බව පවසමින් ඔහු මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

මනාප ගණන් කරන අවස්ථාවේ තමන්ට සිදු වූ අසාධාරණය නිසා පාර්ලිමේන්තු යාමට තමනට අවස්ථාව අහිමි වූ බවද බව පවසමින් ඔහු රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද පැමිණිලි කර ඇති බව සඳහන්.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී පොදුජන පෙරමුණේ මනාප ගණන් කිරීම පිළිගත නොහැකි බව පවසමින් දංකොටුව අයියනායක දේවාලයේ දී පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්විය.

මෙසේ දේව කන්නලව්වක් පැවැත්වූයේ එම දිස්ත්‍රික්කයෙන් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් ප්‍රියංකර ගේ ආධාරකරුවන් පිරිසකි.

ඔවුන් පවසන්නේ ජගත් ප්‍රියංකරට පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ගණන් කරද්දී අසාධාරණයක් සිදු වූ බවත් පස්වන ස්ථානයේ සිටියදී නැවත වතාවක් මනාප ගණන් කිරීමේදී ඔහු 06 වන ස්ථානයට දමා තිබූ බවයි.

මේ අතර ජගත් ප්‍රියංකර ද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම ප්‍රතිඵලයට විරුද්ධව තමා අධිකරණයේ නඩු පවරන බවයි.