විදේශගත ලාංකිකයින් ගෙන්වීම අද ඇරඹේ : ලෙබනනයටත් විශේෂ ගුවන් යානයක්

August 8, 2020 at 8:44 AM
තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා.
ඒ අනුව ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිතයි.
විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ මේ වන විට රටවල් 93 ක සිටි ලාංකිකයින් 18,500 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට රජය කටයුතු කර ඇති බවයි.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඇතිවූ රෝගී පොකුර හේතුවෙන් තාවකාලිකව නතර කොට තිබු විදේශගත ලාංකිකයින් මෙරටට රැගෙන ඒම මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ආපසු දින කිහිපයකට නතර කෙරුණු බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වුවත් ලාංකිකයින් අද සිට යළි මෙරටට රැගෙන ඒම ආරම්භ කෙරුණු බවත් මැදපෙරදිග රටවල් වලට එහිදී ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු සඳහන් කර සිටියා.