ස්වයං නිරෝධායනයට ලක්වූ පිරිසට ජන්දය දැමීමට අවසර නැහැ : මැතිවරණ කොමිෂන් සභාපති

August 3, 2020 at 4:24 PM

මෙවර මහා මහමැතිවරණයේදී සීයයට 80 ක පමණ ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ හෙට පෙරවරු 8.00 සිට ජන්ද පොළවල් සඳහා ජන්ද පෙට්ටි නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් ජන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය සඳහා ජන්දය දැමීමට සුදුසුකම් ලබා ඇත. දිවයිනේ ජන්ද කොට්ඨාශ 12,774ක පිහිටි ජන්ද මධ්‍යස්ථාන 12,985ක හෙට විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරිම සඳහා අගොස්තු මස 05 වෙනිදා පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අතර පස්වරු 4 සිට 5 දක්වා කොරෝනා වසංගතය නිසා නිවෙස් නිරෝධායනයට ලක් කොට සිටි පිරිස් සඳහා වෙන් කොට ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා දින 14ක නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටින පුද්ගලයින්ට තමන්ගේම වාහනයකින් සවස 4-5 අතර කාලයේදී ජන්ද පොළට පැමිණ ජන්දය ප්‍රකාශ කිරිමට හැකි බවයි.

එවැනි පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්ද මධ්‍යස්ථානයේ විශේෂ කුටියක් සකස් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරියෙකු එම අවස්ථාව සඳහා පමණක් සහකාර මැතිවරණ නිලධාරියෙකු ලෙස එහි සේවයේ යෙදවීමට බලාපොරොත්තුවන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති පුද්ගලයින්ට සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව හිමි නොවනවා.

එලෙස අවස්ථාව අහිමිවන්නේ මේ වන විට ලංකාපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති පවුල් 200 කට ආසන්න පිරිසකට බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිවයිනේ සියලුම ජන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරිමේ මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

යම් ජන්ද මධ්‍යස්ථානයක ප්‍රචන්ඩ ක්‍රියාවක් හෝ සාමය කඩ විමේ සිදුවීමක් සිදුවුවහොත් එහි ජන්දය අවලංගු කොට යළි ජන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුබට නොවන බවද මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කර සිටියා.