මැතිවරණ පැමිණිලි වලින් 60%ක් එක පළාතකින්

August 2, 2020 at 2:11 PM

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි උතුරු පළාතේ ඉතා ඉහළ අගයක් ගන්නා බව මැතිවරණ විමසුම සඳහා වූ ස්වේච්ඡා මුලපිරුම (වීව්) සංවිධානය කියයි.

මේවන විට සමස්ථ දිවයිනෙන් 3000කට අධික පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් (පැමිණිලි 1800ක්) වාර්තා වී ඇත්තේ උතුරු පළාතෙන් බවත් එම සංවිධානය පවසයි.

මැතිවරණ විමසුම සඳහා වූ ස්වේච්ඡා මුලපිරුම සංවිධානයේ ඒකාබද්ධ මෙහෙයුම් කමිටු සාමාජික ආදිල් අලි සබ්රි මහතා මේ බව ප්‍රකාශ කළේ එම සංවිධානයේ උතුරු පළාත් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

නීති විරෝධී ප්‍රචාරණ ව්‍යාපාර රැසක් උතුරු පළාතෙන් වාර්තා වූ බවත්, ඡන්ද දායකයන්ට මුදල් ලබා දීම, ඡන්ද දායකයන් වන්දනා චාරිකා කැඳවාගෙන යෑම, පක්ෂය සහ අංකය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා බෙදා හැරීම, නිරෝධායන නියෝග උල්ලංඝණය කිරීම, නීති විරෝධී රථ පෙළපාළි යන මැතිවරණ නීතී උල්ලංඝණයන් වැඩි වශයෙන් උතුරු පළාතෙන් වාර්තා වූ බවත් ආදිල් අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

නිහඬ කාලසීමාවේ දී සහ මැතිවරණ දිනයේ දී ද ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ඇතැම් පක්ෂ සහ අපේක්ෂකයක් කටයුතු සැලසුම් කරමින් සිටින බවට මේවනවිටත් තොරතුරු ලැබී ඇතැයි ප්‍රකාශ කළ අලි සබ්රි සමතා වැඩිදුරටත් සඳහන් කළේ එම තත්ත්වයන් නතර කිරීම සඳහා පොලිසිය අපක්ෂපාතීව කටයුතු කළ යුතු බවයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ ඇතැම් සිද්ධි මැඩ පැවැත්වීමට පොලිසිය කටයුතු නොකළ අවස්ථාද තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඔහු කීවේය.

තම සංවිධානයට ලැබුණු පැමිණිලිවලින් වැඩි ප්‍රමාණ්‍යක් ලබා දුන්නේ පුරවැසියන් විසින් බවත්, පුරවැසියන් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි කිරීම හොඳ ප්‍රවණතාවයක් බවත්, මැතිවරණ විමසුම සඳහා වූ ස්වේච්ඡා මුලපිරුම සංවිධානයේ ප්‍රධානම පරමාර්ථය මැතිවරණයක දී පුරවැසියන්ගේ ස්වේච්ඡා දායකත්වය ප්‍රවර්ධනය කිරීම බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඒෆ්‍රියල් තරුණ ජාලය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ එකමුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණ නීතීඥයෝ යන සංවිධාන හතර එක්ව මැතිවරණ විමසුම සඳහා වූ ස්වේච්ඡා මුලපිරුම (වීව්) සංවිධානය නිර්මාණය කර තිබේ.