ග්‍රාම නිලදාරිනියක් අත්අඩංගුවට පත්වූ පසු කාලකන්නි සන්තෝෂය නමින් හිටපු දිසාපතිවරයෙකු තැබූ සටහන

August 1, 2020 at 11:02 AM

මෙරට රාජ්‍ය සේවයේ යෙදෙන නිලධාරින් සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව පුරාවට අපට අසන්න දකින්නට ලැබුනේ යහපත් ප්‍රවෘත්ති නොවන බව කවුරුත් දන්නා කරුණකි.

බොරැල්ල ප්‍රදේශයේදී මිට දීන කිහිපයකට පෙර පදිංචිය සනාථ කිරිමේ ලියැවිල්ලක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලබා ගැනීමට ගොස් ග්‍රාම නිලධාරිනියක් සහ ඇයගේ තැරැව්කරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට පත්විය.

එම සිද්ධියෙන් පසු හිටපු දිසාපති වරයෙක් වන සුනිල් කන්නන්ගර තැබූ සටහනක් මේ.

***************

” කාලකණ්නි සංතෝෂය අත් විඳින්න ලැබෙන එක හොඳ නෑ.ඒ වුණත් සමහර සිද්දීන්වලදි කාලකණ්නි සංතෝෂෙ ලැබෙන එක නතර කරන්නත් බෑ.මට මෙහෙම කියන්න සිද්දවුනේ අද උදේ මූනුපොත බලල වලක්වගන්න බැරි කාලකන්නි සංතෝෂයක් විඳගන්න මට සිද්දවුනු නිසයි.ඉතින් අද තව බොහෝ දෙනාගෙ දැන ගැනීමට ඒ විස්තරය සටහන් කරන්න හිතුනා.

මම එක්තරා දිස්ත්‍රික්කෙක දිසාපතිකම කරන කොට දවසක් මාව මුන ගැහෙන්න මනුස්සයෙක් ආවා නම ගම මතක නෑ ඒවුනාට මනුස්සයෙක්. මම සුපුරුදු විදියට වාඩිවෙන්න කියල කිව්වා.බොහොම ස්තූතියි කියල වාඩිවෙල ආපු මනුස්සය කතාව පටන් ගත්ත.

“මහත්මයා මම මේ නගරයේ …………. කොට්ටාශෙ පදිංචි කෙනෙක්.මට ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නයි ආවෙ.”

“ඔව් මහත්මයා කිසි ගැටලුවක් නෑ මම මහජනතාවගෙ ඉල්ලීම් පිලිබඳව කටයුතු කරන්න ඉන්න කෙනෙක් ඔබට ඕනෑ ගැටලුවක් කියන්න ඉඩ තියෙනවා.”

“මගෙ ඉල්ලීම කෙලින්ම කිව්වොත් මේග්‍රාම නිලධාරීන්ට දීලතියන බලතල නිසා අපි මිනිස්සු හැටියට අමාරුවට පත්වෙලා ඉන්නෙ.ඒනිසා අපේ ජීවිතවලට බලපාන ප්‍රධාන දේවල් ගැන ග්‍රාම නිලධාරීන්ට විතරක් රජයෙන්දීපු බලය අයින් කරන්න.නැතිනම් මහජනයා හැටියට අපි බරපතල අමාරුවට පත්වෙනවා.”

“ග්‍රාම නිලධාරින් ට යම් යම් කරුණු ගැන බලතල පවරල තියෙන්නෙ මහජනයාගෙ වැඩ කරල දෙන්න මිසක් නොකර දෙන්න නෙවෙයි.ඔබතුමාට මොකක් හරි අයුක්තියක් ග්‍රාම නිලධාරි කෙනෙක් ගෙන් සිදු වුනානම් ඒගැන කිව්වොත් මට හොයල බලල අයුක්තියක් වෙලා තියෙනවනම් නිවැරදි කරන්න පුලුවන් ”

“ඉතාම බරපතල අයුක්තියක් මට සිද්දවුනා මම පදිංචි කොටසේ ග්‍රාම නිලධාරිනියගෙන් නමුත් මම පැමිනිල්ලක් හැටියට ඒක කරන්න කැමති නෑ. නමුත් ඔබතුමාට මම වුනුදේ කියන්නම් .මගෙ ඉල්ලීම සාධාරණයි කියල පෙන්වන්න.

“ඔව් කියන්න.”

“මම මේදැන් පදිංචිවෙලා ඉන්නතැනට ආවෙ මාස තුන හතරකට කලින් ඊට කලින් අල්ලපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ කොටසකයි පදිංචිවෙලා හිටියෙ.මගෙ ලමයගෙ පාසැල් ගමන පහසුවෙන්න කුලියට ස්තානයක් අරගෙන පදිංචියට ආවා.ඒ අතර මගෙ පාස්පෝට් එක වලංගු කාලෙ ඉවර වුනා.ඒක හදාගන්න ගියහම හැදුනුම් පත දෙන්න වුනා හැදුනුම් පතේ අකුරු පේන්නෙ නෑ පැහැදිලිව.ඒක දුන්නම කිව්වා මේ හැදුනුම් පත පැහැදිලි නැති නිසා අලුතින් හැදුනුම් පත අරගෙන එන්න කියල. අලුත් හැඳුනුම් පත ගන්න ග්‍රාම නිලධාරිනිය හමු වුනාම මුලින් හිටපු කොට්ටාශෙන් පදිංචිය හැරයාම සහතිකය ගේන්න කිව්වා.කලින් හිටි කොට්ටාශෙ ග්‍රාම නිලධාරි හමුවෙලා පදිංචිය හැරයාම අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙටදීල අත්සන් අරගෙන ග්‍රාම නිලධාරිනියට දුන්නා.ගේ කුලියට ගත්තු ගිවිසුමේ කොපියක් ඉල්ලුවා ඒකත්දුන්නා.ඇවිත් බලන්න ඕන කිව්වා.ඒව කියල ඊලඟ සතියෙ එන්න කිව්ව.සතියකට පස්සෙ ගියා. හැදුනුම්පත් ආකෘතිය අත්සන් කරන්න බෑ කිව්වා”.

“ඉතින් මේ ගැන ග්‍රාම නිලධාරි හේතුවක් කිව්වෙ නැතිද?

“හේතුවක් කියනව තියා ග්‍රාම නිලධාරිනියට කතාකරන්න වත් බෑනෙ.ඇඟට කඩා පනිනවානෙ..”

“මහත්මයා මේ ගැන පැමිනිල්ලක් කරනවනම් මට ග්‍රාම නිලධාරිගෙ වරදක් තිබුනොත් දඩුවම් කරන්න පුලුවන්. එහෙම නැත්නම් වාචික පැමිනිල්ලක් විදියට පරීක්ෂාකරල බලල වරදක් වෙලානම් නිවැරදි කරවනව මිස කලවරදට දඩුවමක් දෙන්න බැරි වෙනවා.ඒනිසා මේ පැමිනිල්ල ලිඛිතව කරල පරීක්ෂනේකට සහය දෙන්න.”

“මට මේ නිලධාරිනියට දඩුවම් කරවල වැඩක් නෑ.ඒකෙන් මහජනයාට සෙතක් වෙන්නෙ නෑ.මම ඉල්ලන්නෙ හැදුනුම් පතක් ගන්න ග්‍රාම නිලධාරිගෙ අත්සන විතරක් ගන්න එක නතර කරල.ග්‍රාම නිලධාරි ඇතුලු තව නිලධාරීන්ට මේ බලය දෙන්න.එහෙම නැතිවුනොත් මේවගේ ග්‍රාම නිලධාරින් මේ බලයෙන් අයථා විදියට මුදල් හම්බ කරනවා.මම එහෙම අල්ලස් දීල වැඩ කරගන්න කැමති නෑ.හැබැයි බොහෝ දෙනෙක් මේව කරගන්න අල්ලස් දෙනවා.මීට හේතුව ග්‍රාම නිලධාරිට විතරක් එහෙම බලයක් දීල තියෙන එක.”

“හරි ඒ ගැනත් මම බලන්නම් කොහොම නමුත් මේ කාරනේ මට කිව්වට බොහොමස්තූතියි.මම මේගැන හොයල බලන්නම්.”

“බොහොම ස්තූතියි ඔබතුමා මට සවන්දුන්නට ”
මෙහෙම ඒ කතාබහ අවසන් වුනා.මම වහාම ඒ කොට්ටාශෙ ප්‍රාදේශීය ලේකම් තුමියට කතා කරල මේ ගැන කිව්වා මේ සිද්දිය ගැන හොයල බලල මට වාර්තා කරන්න මොනවද ග්‍රාම නිලධාරිගෙ පැත්තෙන් කියන කරුණු කියල. ඊලඟ බදාදා පෙරවරුවේ ප්‍රාදේශීය ලේකම්තුමිය මට දුරකතනෙන් කතා කරල අදාල ග්‍රාම නිලධාරිනිය මා හමුවීමට එවන්න අවසර ඉල්ලුවා. ග්‍රාම නිලධාරිනිය කියනදේ මම පුද්ගලිකව ඇසීම හොඳ බවත් තමන් අතින් වරදක් නොවූ බවට තදින් ප්‍රකාශ කරන බවත් ප්‍රාලේ තුමිය මට කිව්වා.මම ග්‍රාම නිලධාරිනියව එවන්න කිව්වා.

ටික වෙලාවකින් ග්‍රාම නිලධාරිනිය පරිපාලන නිලධාරිත් සමග මා හමුවීමට ආවා.

“ඔව් .තමුන්ද ……කොට්ටාශෙ භාර ග්‍රාම නිලධාරිනිය.?”

“ඔව් සර්”

“මට පැමිනිල්ලක් ලැබුනා තමුන් පුද්ගලයෙකුගෙ හැදුනුම්පත අලුත් කිරීමට නිර්දේශෙ නොදී එයාව රස්තියාදු කරා කියල ප්‍රාදේශීය ලේකම්තුමිය කියන්න ඇතිනෙ.මොකද ඒගැන කියන්නෙ?”

“සර් ඒ පුද්ගලයගෙ කලින් පදිංචි තැන පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා.ඒක නිසා හැදුනුම්පත දෙන්න බෑ”. පරිපාලන නිලධාරි උත්තර දුන්නා.

“ඔව් මොකක්ද කලින් හිටපු තැන ප්‍රශ්නෙ?”

“මේ සර් මේ කෙනා කලින් හිටපු ගෙදර විස්තර පොලිසියට දීල තියෙන එකේ කොපියක්.ඒකෙ ඔය නමට තියෙන හැදුනුම්පත් අංකෙ වෙනස් ”
කියල පොටෝ කොපියක් පරිපාලන නිලධාරි මට පෙන්නුවා.

“මේක කොහෙන්ද ලැබුනෙ.?”

“සර් අපි මෙයා කලින් හිටි තැන ග්‍රාම නිලධාරිට කතාකරල ගෙන්න ගත්තා”
පරිපාලන නිලධාරිය උත්තරදුන්නා.

“දැන් මේ පරිපාලන නිලධාරි මේකට උත්තරදෙන්නෙ තමුන්ද හැදුනුම් පත් සහතික කරන්නෙ මේ කොට්ටාශෙ ග්‍රාම නිලධාරිනිය නෙවෙයිද?”

නෑ සර් මම මේක ගැන හොයල බැලුව ඒකයි.පරිපාලන නිලධාරි උත්තර දුන්නා.

“ඒ කියන්නෙ අද මාව හම්බු වෙනකොට මේක නිර්දේශ නොකල හේතුවක් හොයාගෙනයි ආවෙ නේද?හරි ග්‍රාම නිලධාරි කියමු බලන්න තමුන්ට මේකඩදාසිය ලැබුනෙ කවදද කියල.””

“සර් දවස් තුනක් විතර වෙනව” ග්‍රාම නිලධාරි උත්තර දුන්නා.

“”ඒ කියන්නෙ තමුන් මේතැනැත්තගෙ හැදුනුම්පත නිර්දේශ කිරීම ප්‍රතික්ෂේප කරන කොට මේවිදියෙ කඩදාසියක් තමා ලඟතිබුනෙ නෑ නේද?,අනික මේ කඩදාසිය කවුරුන් සකස් කල එකක්ද කියලත් දැනගන්න බෑ නේද?එතකොට හිතන්න බැරිද මෙය ලියාපු කෙනාට වැරදුනා කියල.ඇයි මේ ගැන අදාල පුද්ගලයගෙන් ඇහුවෙ නැත්තෙ.ඒකෙනාගෙන් පැහැදිලිකර නොගෙන මෙහෙම කියන එක හරිද?””

ග්‍රානි සද්ද නැතුව හිටියා.ඒ එක්කම නදීකා ඒකියන්නෙ දිසාපති පුද්ගලික සහකාර ඇවිත් මේපරීක්ෂණයට අදාල කෙනා ඇවිත් මේ පරීක්ෂනේට සම්බන්දවෙන්න අවසර ඉල්ලනව කිව්වා.මම ඊට ඉඩදුන්නා.එදා මාමුන ගැහෙන්න ආපු මහත්තය ඇතුලුවුනා.මම ඔහුට අසුන්ගන්න කිව්වා.
“අවශ්‍ය නෑ සර්, මට පොඩිදෙයක් කියල යන්නයි අවශ්‍ය.”

“ඔව් කියන්න ”

“මේ ග්‍රානි නෝනා ගැන පරීක්ෂණ ඕනෙ නෑ සර්.මම මගේ හැදුනුම්පත මෙයාගෙන් ඕනෙ නෑ.මොකද මට දැන් මේවසමෙන් වෙනත් තැනකට යන්න වෙලා මම කුලියට ගත්තු ගෙයි අයිතිකාර නෝනා මට ඊයෙ ගේභාරදීල යන්න කිව්වා.මොකද මේනෝනා ගිහිල්ල ගේ අයිතිකාරිට කිව්වලු මම ඒගෙදර ලිපිනය පාවිච්චි කරල හැදුනුම්පත ගන්න හදනවා.එහෙම උනොත් ගෙදර අයිතියටත් ප්‍රශ්න එයි. පස්සෙ එයාට දොස්කියන්න එපා කියල.ඒනිසා මම වෙනගෙයක් හොයාගෙන ලබන මාසෙ මුල ඉඳල අයින්වෙන්නයි හදන්නෙ.මම අද ආවෙ ප්‍රාදේශීය ලේකම්තුමිය හමුවෙල ඒබවකියල යන්න එතුමිය තමයි මට කිව්වෙ ඔබතුමා දැන් පරීක්ෂණයක් කරන බව.ඒකයි මම ආවෙ.මට මෙතුමිය ඉස්සරහ වචනයක් කියල යන්නයි ඕන මට මෙතුමියට කතාකරන්න අවසරදෙනවද?”

“ඔව් මහත්මයා කියන්න”.

“ඔබතුමිය ග්‍රාම නිලධාරි හැටියට මට කරේ ලොකු අයුක්තියක්.මගෙ වැඩේ කරගන්න ආපුවම ගේන්න කියපු සේරම මම ගෙනත් දුන්න .ඒව ගෙනාවම ඉල්ලපු දේ මම දුන්නෙ නැති නිසා ඔබතුමිය මට හැදුනුම්පතට අත්සන්කලේ නෑ.ඔබතුමිය ඉල්ලපු රුපියල් 25000/=දුන්නනම් මේ ප්‍රශ්නෙ එන්නෙ නෑ.මගෙ වැඩේ කෙරෙනවා.මම පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක්.මම අල්ලස් දීල වැඩකර ගන්නෙ නෑ.ඒක මගේ ප්‍රතිපත්තිය.මම නීතියට අනුව ජීවත් වෙනවා.ප්‍රශ්න එන්නෙ අපිටයි කමක් නෑ.ඔබතුමිය මට ඉන්න තැනත් නැතිකලා.ඒඋනත් මෙතුමා ලිඛිතව පැමිනිල්ල ඉල්ලුවට මමදුන්නෙ නෑ.දැනුත් දෙන්නෙ නෑ.ඔබතුමාට බොහොම ස්තූතියි මට සාධාරණය කරන්න උත්සාහ ගැනීම ගැන මේපරීක්ෂණය ඉවරකරන්න.මෙතුමිය ගැන පරීක්ෂා කරල දඩුවමක් අනාගතයෙදි ලැබෙයි. අපි කාටත් උඩින් ඉන්න කෙනාගෙන්.දැන්වත් ඔයවගේ දෙයින් අත් මිදෙන්න හිතා ගත්තොත් හොඳයි. බොහොම ස්තූතියි සර් ඔබතුමාට.”

මේවිදියට එකදිගට කියාගෙන ගිය ඒමහත්තයා ග්‍රාම නිලධාරි ලඟට කිට්ටුවෙලා

“බොහොම ස්තූතියි මැඩම් මට හැදුනුම්පත නොදී උන්හිටිතැනුත් නැතිකලාට.කවදහරි ඔබට ඒකවැරදියි කියල තේරෙයි”” කිව්වා.මම

ඔහුට කිව්වා.””රජයේ නිලධාරිනියකගෙන් ඔබට සිදුවූ අකටයුත්ත ගැන රජයවෙනුවෙන් මම සමාව ඉල්ලනවා”” කියල

“”ඔබ බොහොම වැදගත් නිලධාරියෙක් මම සතුටු වෙනවා ඔබ ගැන”” කියල ඔහු යන්න ගියා.

මම ග්‍රාම නිලධාරිනියට කිව්වා.”””තමුන්ගෙ ඔය නිල ඇඳුම තවදුරටත් අඳින්න අයිතියක්වත් සදාචාරයක්වත් තමුන්ට නෑ.මෙතන ඉඳන් ප්‍රවේසම් වෙනවා ඒමහත්තය පැමිනිලිකරන්න අකමැති නිසා තමුන් මේකෙන් බේරුනාට තමුන්ව රාජ්‍ය සේවෙන් නෙරපල දාන්න බලාපොරොත්තුවෙන් තමුන් ගැන මම හොයල බලනවා. ප්‍රවේසම් වෙනවා .කවදහරි තමුන් හිරගෙදර කූරුගනින එකනම් මට විශ්වාසෙන් කියන්න පුලුවන්”” කියල සියලු දෙනාවම පිටත්කරා..ඒ සිද්දිය එතනින් ඉවරයි .මාස කීපයකින් මම විශ්‍රාම ගියා.

අද උදේ මුහුනු පොතේ තියනව “”පදිංචි සහතිකයක් දෙන්න රුපියල් ලක්ෂයක් අල්ලස් ගත් ග්‍රාම නිලධාරිනිය දැලේ”” කියල. වහාම හොයල බැලුවා. අර ග්‍රාම නිලධාරිනියම තමයි. දෙවියන් වහන්සේගේ දැතිරෝදය හිමින් කැරකී වරදකරුවන්ගේ හිස කුඩුපට්ටම් කර ඇති බව තේරුණා.අන්න ඒ වෙලාවෙ හිතට දැනුන සංතෝෂයට තමයි කාලකන්ණි සංතෝසෙ කියන්නෙ කියලත් තේරුනා.”