ලංකාවේ තේ නම වැනසූ මහමොළකරු අල්ලයි.

July 30, 2020 at 12:07 PM

මෙරට තේ නාමය වැනසූ මහ පරිමාණ කසළ තේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඊයේ රේගු දෙපාර්ත‍මේන්තුව විසින් අත්අඩංගුවට ගත් පසුවයි .

මෙරට ක්‍රියාත්මක වූ මහා පරිමාන කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රේගු දෙපාර්තමේන්තු ව අදාළ ජාවාරමේ ප්‍රධාන සැකකරුට රේගුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව ඊයේ දිනයේ අදාළ සැකකරු රේගු දෙපාර්තමේන්තු වේ අවදානම් කළමනාකරණ ඒකකයට පැමිණ පැය 07ක පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනිමෙන් පසුව අත්අඩංගුවට ගත් අදාළ සැකකරු රේගු දෙපාර්තමේන්තු ව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී අදාළ සැකකරු ලබන අගෝස්තු 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

ඊයේ අත්අඩංගුවට ගැණුනු එම ජාවාරමේ ප්‍රධාන සැකකරු සමග සැකකරුවන් 09 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් 2017 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් දක්වා කාලය තුළ කසළ තේ කන්ටේනර් 252ක් ඉරාකයට යවා ඇති බව වාර්තා වේ.

කොහුබත් අපනයනය කරන බව රේගුවට පවසමින් අදාළ තේ ඉරාක වෙළෙඳපොළට “සිලෝන් ටී“ නමින් ලබා දී ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ .