විදේශගතව සිටින ලාංකිකයින් යලි ගෙන්වීම ජුලි 31 සිට ඇරඹේ

July 29, 2020 at 10:41 AM

COVID-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා රජය විසින් ජූලි 31 වෙනිදා සිට නැවත ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි සිට ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුලි 31 සහ අගෝස්තු 01 යන දිනවල ගුවන් ගමන් දෙකක් සැලසුම් කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලාංකිකයන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගුවන් ගමන් දෙක හරහා ආපසු පැමිණෙනු ඇතැයි අපේක්ෂා කර සිටිනවා.

මීළඟ ගුවන් ගමන් කිහිපය ප්‍රධාන වශයෙන් මැදපෙරදිග, විශේෂයෙන් සෞදි අරාබිය සහ ජෝර්දානය වැනි රටවල් කෙරෙහි අවධානය යොමු කර ඇත.

අද්මිරාල් ජයනාත් කොළඹගේ තවදුරටත් කියා සිටියේ විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති බවයි.

COVID-19 වසංගතය හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයකට රැකියා හා වාසස්ථාන අහිමි වී ඇති බැවින් ඔවුන්ට සහාය වී නැවත මෙරටට ගෙන්වා ගැනීම රජයේ වගකීම බව ඔහු පැවසීය.

ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු මෙම ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා උත්පාදනය හා රැකියා ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.