රාජංගණයේ තැපැල් ජන්ද විමසීම ඇරඹේ

July 29, 2020 at 9:16 AM

කොවිඩ් 19 වෛරස ව්‍යාප්ත වීමත් සමඟ තාවකාලිකව අත්හිටවූ රාජංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසීම අද සිදුකෙරෙනවා. ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

එමෙන්ම, මෙවර මහ මැතිවරණය සදහා 84,000 කට ආසන්න ආරක්ෂක නිලධාරින් පිරිසක්ද යෙදවීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අතර මේ වනවිට නිරෝධායනයට ලක්වන පිරිස් සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් දිනයක් ලබාදීම සිදු නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ඔහු සදහන් කර ඇත්තේ ඡන්ද විමසීම පැවැත්වෙන අගෝස්තු 5 වනදා සවස 5 න් පසු නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබාදීමට යෝජනා වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ රැස්වීමකට සහභාගිවෙමින්.