ජන්දෙට ගම්බිම් බලා යන්න අනිද්දා සිට විශේෂ ප්‍රවාහන පහසුකම්

July 29, 2020 at 2:24 PM

2020 මහමැතිවරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන මහජනතාව සඳහා මෙන්ම ආපසු කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් වි‌ශේෂ පොදු ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා. මෙම විශේෂ පොදු ප්‍රවාහන සැලැස්ම ජුලි 31 දින සිට අගෝස්තු 10 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද දින (29) පෙරවරුවේ අගුනකොළපැලැස්ස තම නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අගොස්තු මස 03 වන දින පසලොස්වක පොහොය දිනයක් වන අතර අගෝස්තු 04 වන දින මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් ඒ ඒ ප්‍රදේශ කරා යාමට නියමිතය. එමනිසා බොහෝවිට ජුලි මස 31 දින සිට අගොස්තු 04 දක්වා ගම්බිම් බලා මහජනතාව යාමේ දී පොදු ප්‍රවාහන වාහනවල තදබදයක් ඇති නොවීම සඳහා මෙම විශේෂ පොදු ප්‍රවාහන සැලැස්ම සකස් කරන ලදැයි ඇමැතිවරයා සඳහන් කළේ.

ඒ් අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ එනම් බස් රථ 5300ක් ධාවනය සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ. එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම විසින් අන්තර් පළාත් බස් රථ පමණක් නොව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600ක් පමණ දැනටමත් අවශ්‍ය වුවහොත් ප්‍රවාහන සේවා සැලසීමේ අරමුනින් ධාවනය සඳහා සුදානම් කර තිබෙන අතර ඒ් සඳහා තාවකාලික බලපත් ද ද ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුව සතුව පවතින සියලු දුම්රිය ද ධාවනය සඳහා එක් කර තිබේ. එමෙන්ම ඇතැම් ගමනාන්තයන් පවා දිර්ග කිරීමට පියවර ගෙන ඇත. නිදසුනක් ලෙස මහව දක්වා ඇති දුම්රිය ගමනාන්තයන් අනුරාධපුරය දක්වා හෝ පොලොන්නරුව හා මඩකලපුව දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනය සඳහා යොදවා ඇත.

පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දි කෙතරම් පිරිසක් ගමන් කළ ද කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂණ වැඩ පිලිවෙළ අනුව ප්‍රවාහන කටයුතු සිදු කෙරේ. ඒ අනුව ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම, මුහුනු ආවරණ පැළඳීම අනිවාර්යය වන අතර මුහුනු ආවරණ නොමැති මගීන් බස් රථ හෝ දුම්රියට ඇතුල් කිරීමටඅවසර නොමැත. එමෙන්මදෑත් සෝදා ගැනීමේ පහසුකම් මෙන්ම බස් රථ තුළ සැනිටයිසර් හා විෂබීජනාශක ලබා දීම ද සිදු කරන ලෙස උපදෙස් දි තිබේ.

කෙසේ වුවද මගින්ට ප්‍රවාහන ගැටලුවක් ඉස්මතු වුවහොත් ඒ සම්බන්ධව ලංගම හෝ ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම විශේෂ පොදු ප්‍රවාහන සැලැස්ම ජූලි 31 සිට අගෝස්තු 10 දක්වා ක්‍රියාත්මක කෙරේ.