යතුරුපැදි පෙළපාළියක් යන තැන පොලිස් නිලධාරියෙක් හිටියා කියලා ඒක නවත්වන්න බෑ : පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

July 28, 2020 at 7:48 PM

යතුරුපැදි පෙළපාළි යන තැනක පොලිසියේ කෙනෙක් සිටි පමණින් ඔහුට එය නවත්වන්න බැරි බවත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන්⁣නේ විමර්ශනයකින් පසුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න Medialk.com වෙත ප්‍රකාශ කර සිටියා.

මැතිවරණ නීති සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඡන්ද අපේක්ෂකයින් යතුරු පැදි පෙළපාළි පැවැත්වීම වර්ධනය වුවහොත් එය මැඩපැවැත්වීමට විශේෂ කාර්ය බලකාය යෙදවීමට කටයුතු කරන බව ද ඒ හැරෙන්නට ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට අවශ්‍ය නැති බව ද හෙතෙම කීවේය.

පොලිස් ස්ථානාධිපතිවරුන් මාරුකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කළද එය මේ මොහොතේ කළ නොහැකි බව ඒ මහතා පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂකයකු යතුරුපැදි පෙළපාළි පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් පවත්වන අතර එහි නිර්දේශ අනුව අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.

අංක තහඩු නොමැති යතුරුපැදි භාවිතා කර පෙළපාලි පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කළේය.

මෙලෙස යතුරුපැදි පෙළපාළි පවැත්වීම මගින් ජනතාව බියගැන්වෙන බවත් වසංගතයක් පවතන සමයක මෙලෙස අපේක්ෂකයින් හැසිරීමෙන් නිරෝධායන නීති සම්බන්ධයෙන් වැරදි ආකල්ප සමාජ ගතවන බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මෙසේ කීවේය.

“මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා පොලිස්පතිතුමා එම ප්‍රදේශයේ අදාල නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. යතුරුපැදි පෙළපාළි යන තැනක පොලිසියේ කෙනෙක් හිටියා කියලා ඔහුට එය නවත්වන්න බැහැ.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අනුව තමයි තීරණයක් ගන්න වෙන්නේ. එහිදී පොලිසියේ පුද්ගලයින්ගෙන් අඩුවක් වෙලා තියෙනවද කියා බලා විමර්ශන යොමුකරන්න කියා අපි දැනුම් දී තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පොලිස් ස්ථානාධිපතිවරුන් මාරුකරන්න කියලා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිව්වත් එය මේ මොහොතේ කරන්න බැහැ.

මොකද පොලිස් ස්ථානාධිපතිවරුන් තමයි ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී යොදවන දේවල්, ජංගම නිරීක්ෂණ ආදි මෙන්ම මැතිවරණ නිලධාරීන් සමග සම්බන්ධතා තියාගන්නේ. මේ අවස්ථාවේ නිලධාරීන් මාරු කළොත් ආයේ අලුතින් කියලා දෙන්න වෙනවා. මැතිවරණය සාධාරණව කරන්න ඒක ඊට වඩා බරපතල බාධාවක්. මේ තත්ත්වය වර්ධනය වු⁣⁣⁣ණොත් සාමාන්‍ය පොලිසිය බැරිනම් විශේෂ කාර්ය බලකාය හරි දාන්න පුළුවන්. ඒ හැරෙන්නට ස්ථානාධිපතිවරුන් මාරුකරන්න අවශ්‍ය නැහැ.”

(මුලාශ්‍ර : Medialk.com වෙබ් අඩවියෙන්)