බැසිල්ව රැගෙන යන්න බස් රථය එවූ පුද්ගලයන් ගැන ජනාධිපති කොමිසමෙන් විමර්ශනයක්

July 28, 2020 at 9:45 AM

2015 ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව රට අත්හැර ඇමරිකාව බලා පිටව ගොස් තිබුණු බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබුණේ අප්‍රේල් මාසයේ 21 වෙනිදායි.

ඊට පසුවදා, එනම් අප්‍රේල් මාසයේ 22 වන දා, එෆ්.සී.අයි.ඩී ය මගින් පැය ගණනාවක් ප්‍රශ්න කිරීමෙන් පසුව බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගනු ලැබුවේ දිවි නැගුම අරමුදල් අයථා ලෙස භාවිතා කිරීම ඔහුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනාවටය.

එෆ්.සී.අයි.ඩී ය මගින් අත් අඩංගුවට ගනු ලැබූ බැසිල් රාජපක්ෂ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර, අධිකරණ භූමියට බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබුණු බවත්, එම බන්ධණාගාර බස් රථය එම ස්ථානයට එවන ලද්දේ කවුරුන් විසින්ද කියා, දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ෂණය සදහා පත් කළ ජනාධිපති කොමිසම විමර්ෂණ අරඹා තිබේ.

ඒ සම්බන්ධයෙන් අරුණ පුවත්පත පළ කර තිබෙන ප්‍රවෘත්තිය පහතින්.

2015 වර්ෂයේදී එෆ්.සී.අයි.ඩී. නිලධාරීන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර බන්ධනාගාර බස් රථයක් එම අධිකරණ භූමියට රැගෙන ඒමට නියෝග දුන්නිලධාරියා සහ ඊට අදාළ සියලු ලේඛන, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවට අද (28 වැනිදා) ඉදිරිපත් කරන ලෙස එම කොමිසම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ (27 වැනිදා) නියෝග කර තිබේ.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක යන තිදෙනා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් 2015 අප්‍රේල් 22 වැනිදා අත්අඩංගුවට ගෙන එදින රාත්‍රි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර බන්ධනාගාර බස් රථයක් එම අධිකරණ භූමියට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට ජනාධිපති කොමිසම තීරණය කර ඇත.

එම විමර්ශනයට අදාළ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ 2015 අප්‍රේල් 22 වැනි දින අංක 9556/15, 9557/15 හා 9579/15 දරන නඩු කටයුතුවලට අදාළව සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු යටතේ ​තොරතුරු ලබාගැනීමට අවශ්‍යව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට කොමිසම ලිඛිතව දැනුම්දී ඇත. ඒ අනුව,

1. 2015 අප්‍රේල් 22 වැනි දින අංක 9556/15, 9557/15, 9579/15 දරන නඩුවලට අදාළව

සැකකරුවන් රැගෙන ඒම සඳහා නියෝගයක් ලබාදුන් නිලධාරියා

2.සැකකරුවන් රැගෙන ඒම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් විස්තර හා ලේඛන

3. සැකකරුවන් රැගෙන ඒම සඳහා කටයුතු කළ නිලධාරීන්ගේ නාම ලේඛනය

4. බස් රථය පිටත්වීම හා පැමිණීම සම්බන්ධයෙන් යොදන ලද සටහන්.

ඉහත සඳහන් තොරතුරු හා අදාළ නිලධාරීන් ජනාධිපති කොමිසම වෙත අද (28 වැනිදා) පෙරවරු 9.30ට ඉදිරිපත් කරන ලෙස, එම කොමිසම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කර තිබේ.