“ඒක මුද්දරයක් වගේ පින්තූරයක්’ මුද්දර චෝදනාවට විමල් ගෙන් පිළිතුරු

July 27, 2020 at 4:43 PM

තමන් තැපැල් ඡන්දය වෙනුවෙන්, තැපැල් ඡන්දදායකයාට යැවීමට සකස් කළ ලිපිය දැමූ නිර්මාණාත්මක ලියුම් කවරයෙහි ඇද තිබූ ‘මුද්දර පින්තූරය’ පිළිබඳ මහා ඝෝෂාවක් කරමින් මැතිවරණ කොමිසමට ඒ පිළිබඳව පැමිණිලි කරන තරමට සමගි ජන බලවේගය බංකොලොත් වී ඇති බව ජානිපෙ නායක, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අද (27) බියගම නාගහමුල හන්දියේ පැවැති කාන්තා හමුවක් අමතමින් ඔහු මෙසේ පැවසීය.

“සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ කට්ටිය මැතිවරණ කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් දමලා, මම මුද්දරයක් ගැහුවා, කියලා. මම තැපැල් ඡන්දදායකයාට යැවීමට හදපු පත්‍රිකාව දැමීමට හදපු ලියුම් කවරයේ මුද්දරයක් වැනි පින්තූරයක් ඇඳ තිබුණා. එය බැලූ බැල්මට මුද්දරයක්. නමුත් පින්තූරයක්. මුද්දරයක් වෙනුවට පින්තූරයක් ඇඳ තිබෙන ලියුමක් තැපැල් ගාස්තු ගෙව්වා සේ සලකා තැපැල් දෙපාර්තමේන්තුව එය භාර ගන්නවාද? එහෙම තැපැල් මගින් ලියුම් යවන්න බැහැ, කියා කුඩා දරුවෙකුට වුවත් තේරෙනවා. මේ පැමිණිල්ල කරපු සමගි බලවේගයේ පිරිස කවදාවත් ලියුමක් තැපෑලේ යවා නැති පිරිසක් ද කියා මම දන්නේ නැහැ.

තැපැල් ඡන්දදායකයා ඉලක්ක කරගෙන මා සිදු කළ නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම ඔබ දැක ඇති. එහි දී බයිසිකලයකින් ගෙදරටම ගොස් මගේ මනාප අංකය සහිත ටී ෂර්ට් එකක් පැලඳි ලියුම් බෙදන්නකු මගේම අත් අකුරින් ලියපු ලිපියක් බෙදනවා, දැක ගත හැකියි. එයයි අපි කොළඹ දිස්ත්‍රික්කයේ සිදු කළේ. එම ලිපිය අඩංගු ලියුම් කවරයේ ඇඳ තිබූ ‘මුද්දරයක පින්තූරය’ අල්ලා ගෙන තමයි මේ අය අද කෑගහන්නේ.
සමගි ජන බලවේගයේ අපේක්ෂක නිමල් ආර්. පීරිස් මහතා, සජිත් ප්‍රේමදාස මහතා එන රැස්වීමකට ලියුම් දහස් ගණනක් යවලා හොර මුද්දර මැෂිමකින්. එය තලංගම පොලිසියට හසු වුණා. රජයට කර ඇති පාඩුව රුපියල් එක් ලක්ෂ ගණනක්. මේ වරදට සජිත්ගේ එකී අපේක්ෂකයා කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළා.
මහේස්ත්‍රාත්තුමන් හිටියේ නැහැ. වැඩ බලන මහෙස්ත්‍රාත් එදින සිටියේ. ඔහු සජිත්ලාගේ නීතිඥ සංගමයක ලොක්කෙක්. ඒ නිසා ඇප ලැබිලා. රජයට කර ඇති අලාභය රුපියල් 50,000කට වැඩි නම් ඇප ලබා දීමට බැහැ. නමුත් පොදු දේපළ පනතෙහි එසේ සඳහන් වුවත් එදා සජිත්ගේ අපේක්ෂකයාට ඇප ලැබුණා. හොර මුද්දර මැෂිමක් භාවිතා කරලා, ලියුම් යවලා රජයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් කරලා, පොදු දේපළ පනත යටතේ ඇප දිය නොහැකි වරදක් තිබිය දී ඇපත් අරගත්තු අපේක්ෂකයා ගැන සජිත්ගේ බලවේගය කතා නැහැ. මගේ ‘මුද්දරයක් වගේ පින්තූරය’ සහිත ලියුම් කවරය අරන් ගිහින් මැතිවරණ කොමිසමට අද පැමිණිලි කරනවා”