IDH රෝහලෙන් පැන ගිය රෝගියා සම්බන්ධයෙන් ගැනීමට යන පියවර හමුදාපති හෙළි කරයි

July 25, 2020 at 10:52 AM

ඊයේ IDH රෝහලේ සිට පැන ගිය කොරෝනා රෝගියා ගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කාර සිටිනවා.

මෙම පුද්ගලයා IDH රෝහලේ සිට කොළඹ කොටුව දක්වා පාගමනින් ගොස් ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ.

මෙම රෝගී පුද්ගලයා කොළඹ කොටුව, කෙලින් විදියේ සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවත් එම ස්ථානයේ යොදවා සිටි යුධ හමුදා බුද්ධි නිලධාරින් මුලින්ම ඔහු හඳුනා ගෙන ඔහුව සෙසු පුද්ගලයින් ගෙන් වෙන් කොට තැබීමට අවශ්‍ය පියවර ගත් බවත් ඒ සඳහා රෝහල් සේවකයින්ගේ ද සහය හිමිවූ බව යුධ හමුදාපතිවරයා කියා සිටියා.

මෙම රෝගී පුද්ගලයා රෝහලට රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර IDH රෝහලෙන් ඊයේ අළුයම් කාලයේදී පළා ගිය නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා යළි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙතට මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එලෙස පළා ගිය රෝගියා ගේ කොරෝනා වෛරස් තත්ත්වය එතරම් බරපතළ මට්ටමේ නොවන බවට සෞඛ්‍ය අංශ නිගමනය කිරීමෙන් අනතුරුව ඔහුව එලෙස යළි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත මාරුකර යැවීමට තීරණය කොට ඇති බවයි හමුදාපතිවරයා කියා සිටියේ.