ඡන්දෙට ඉදිරිපත්වූ රාජපක්ෂ පරපුරේ පුරුකක්වු නවක අපේක්ෂකයා !

July 25, 2020 at 9:40 AM

 

(ඉරිදා ලංකාදීප 2020.07.26)

(ඡායාරූප හා සටහන-ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ප්‍රාදේශීය සභා හෝ පලාත් සභා හෝ වෙනත් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවු තරුණ අපේක්ෂකයෙකු මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටි.

රාජපක්ෂ පරපුරේ පුරුකක්වු  මේ නවක අපේක්ෂකයා පිළිබඳව මුලු රටේම දැඩි කතාබහක් ඇති වී තිබේ.තවමත් 29 හැවිරිදි වියේ පසුවන ඔහු නමින් නිපුණ රණවක වේ.මේ ඒ මහතා සමග පැවැති වු සංවාදයකි.

ප්‍රශ්නය- හැමෝම කතා කරන කවුද මේ නිපුණ රණවක කියන්නේ ?

පිලිතුර-මාතර බිමේ උපන් මාතර ජනතාව එක්ක නැවුම් දේශපාලන ගමනක් යන්න බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙක්.

ප්‍රශ්නය- ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

පිලිතුර-මම දෙනියාය කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලයේ හා කොලඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.ඒ වගේම මා ව්‍යාපාර කලමණාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙක්.

ප්‍රශ්නය- ඔබේ දේශපාලන පසුබිම ගැන කීවොත්.?

පිලිතුර-මම ගෝඨාභය ජනාධිපතිතුමාගේ මහින්ද අගමැතිතුමාගේ චමල් හිටපු කතානායකතුමාගේ හා බැසිල් හිටපු අමාත්‍යතුමාගේ රාජපක්ෂ පවුලේ බාලම නැගණිය වු නැසීගිය ගාන්ධීනී රාජපක්ෂ මහත්මියගේ බාල පුත්‍රයායි.

ප්‍රශ්නය-ඔබේ පවුලේ තොරතුරු මොනවාද ?

පිලිතුර-මගේ පියා දෙනියායේ ඉඩම් හිමි වැවිලිකරු ව්‍යාපාරික තුසිත රණවක මහතායි.අම්මා ගාන්ධිනී රාජපක්ෂ මහත්මිය මීට වසර කිහිපයකට ඉහත දී හදීසියේ නැති වුණා.මගේ වැඩිමහල් සහෝදරයා ඒෂණ රණවක ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවකු ලෙස කටයුතු කරනවා.එකම නැගණිය රංදුලා රණවක මාතර අධිකරණයේ නීතිඥවරියක්.මගේ බිරිද චතුනිකා දසනායක ඩයලොග් සමාගමේ ගණකාධිකාරිනියක ලෙස සේවය කරනවා.

ප්‍රශ්නය- දේශපාලනයට එන්න ඔබට තිබෙන සුදුසුකම් මොනවාද ?

පිලිතුර- රාජපක්ෂ පරපුරේ පුතෙකු වීමට වඩා මා වසර හතරක පමණ කාලයක සිට ජනතා සේවයේ නිරත වුණා.නිල්වලා නෙලුම මගේ පදනම හරහා දේශීය නිෂ්පාදන හා ස්වයං රැකියා මගින් ග්‍රාමීය ආර්ථිකය ඉහල නංවීමට විශාල කැප කිරීමක් කලා.ගංවතුර හා කොරෝනා ආදී ව්‍යසන වලදී විපතට පත් ජනතාවට පිහිට වුණා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගැනීමේ තැන සිට එය ජයග්‍රහණය කර ගන්නා තෙක්ම නෙලුම් මාවතේ කාර්යාලයේ දිවා රෑ රැදී සිටිමින් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමාට විශාල සහයෝගයක් ලබා දුන්නා.කුඩා කාලයේ සිටම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු මාමලා,ලොකු තාත්තලා, බාප්පලාගේ දේශපාලන ආභාෂය මට තිබෙනවා.පසුගිය ජනාධිපතිවරණයට පෙර හුදකලා දේශපාලන පාර්ශ්ව එකතු කර ගෙන කුඩා ජන හමු 300 කට වඩා මා සංවිධානය කර පැවැත්වුවා.

ප්‍රශ්නය- ඒ කියන්නේ ඔබ තවත් රාජපක්ෂ කෙනෙක් කියන එක නේද ?

පිලිතුර-ඒ කතාවට මම එච්චර කැමති නෑ.රාජපක්ෂ පරපුරේ පුතෙකු වීමට වඩා දේශපාලනය කිරීමට මට සුදුසුකම් තිබෙනවා.තිස් වසරක කුරිරු යුද්ධයෙන් මේ රට බේරා ගත්තේ රාජපක්ෂවරු තමයි.රටේ වේගවත් සංවර්ධනයක් ඇති කලේ රාජපක්ෂවරුයි.වර්තමානයේ රටේ සියලු දෙනා විශ්වාසය තබා ගෙන සිටින්නේ රාජපක්ෂවරුන් කෙරෙහියි.ඒ අතින් ගත් විට මමත් රාජපක්ෂ කෙනෙක් තමයි.නමුත් දේශපාලනයට ඒම ඒ හේතුවම විතරක් නොවෙයි.

ප්‍රශ්නය- මාතර දිස්ත්‍රික්කය තුල ඔබේ නෑ පරම්පරාව කොපමණ සිටිනවද ?

පිලිතුර-ඒ ප්‍රශ්නය ඔබ මගෙන් නෙවි කාගෙන්වත් අහන්න එපා.මොකද බැදීම් වල සුල මුල හොයන්න ගියොත් මේ පොලොවේ ජීවත් වන සියලු දෙනා කොහෙන් හෝ ඥාතීන් වෙනවා.ඒ වගේම මගේ මව සහ එම පවුලේ සහෝදර සහෝදරියන් අට දෙනෙකුම උපත ලබා තිබෙන්නේ මාතර පාලටුවේ මහ ගෙදරයි.මගේ පිය පාර්ශ්වයේ ඥාති හිතවතුන් සියලු දෙනා ජීවත් වන්නේ දෙනියාය හා අකුරැස්ස ප්‍රදේශ මූලික කර ගෙනයි.ඒ නිසා මම විශ්වාස කරනවා මාතර දිස්ත්‍රික්කයේ පදිංචි සියලු දෙනාම මගේ ඥාතීන් කියලා.

ප්‍රශ්නය- ඔබ වටා ජනතාව විශාල වශයෙන් ඒකරාශී වී සිටින්නේ ඒ බලය තිබෙන නිසාද ?

පිලිතුර-පසුගිය කාලයේ මුලු රටේම සංවාදයක් මතු වුණා හිටපු පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා කියලා.ඒක වුනේ දැනට විපක්ෂයේ සිටින දේශපාලඥයින්ගේ වැරදි නිසයි.ඒ නිසා ජනතාව කලකිරීමට පත් වුණා.මාතර ගොඩ නගන්න හොද දක්මක්,වැඩපිලිවෙලක්,ප්‍රතිපත්තියක් මා හට තිබෙන බවට ජනතාව හදුනා ගෙන තිබෙන නිසා ඔවුන් විශාල වශයෙන් මා වටා එකතු වී සිටිනවා.
ප්‍රශ්නය- ජයග්‍රහණය කලහොත් ඔබ මාතරට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?
පිලිතුර-අනිවාර්යෙන්ම මාගේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන බවට මේ වන කිසි සැකයක් නෑ.දිනපතා අප වටා එකතු වන පිරිසෙන් ඒ බව මනාව පේනවා. නිසි දැක්මක් නිසි වැඩපිලිවෙලක් නොමැති වීම නිසා පසුගිය කාලය තුල මාතර දිස්ත්‍රික්කය තුල ප්‍රශ්න රැසක් උත්සන්න වී තිබෙනවා.නිල්වලා ගග පටන් ගන්න තැනත් අවසන් වන තැනත් තිබෙන ගම්මාන වල ජනතාවට පානීය ජලය නෑ.ගංවතුර හැරෙන්න නිල්වලා ගගෙන් ලැබෙන ප්‍රයෝජනය අඩුයි.ඒ නිසා මුහුදට නිකං ගලා බසින් වතුර ටිකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න සැලසුමක් ක්‍රියාත්මක කරනවා.තේ කර්මාන්තය කඩා වැටිලා.දෙනියායේ තේ කම්හල් ගණනාවක් වැසී ගිහින්.තේ කර්මාන්තය ගෝඩ නගන්න බලාපොරොත්තු වෙනවා.ධීවර ගැටලු එමටයී.මුහුදු යන ධීවරයට සනීපාරක්ෂක පහසුකම්වත් අඩුම තරමින් නෑ.ධීවර ගැටලු සියල්ල විසදනවා.සමුපකාර ක්ෂේත්‍රයේ ගැටලු එමටයි.ඒවා විසදන්න තිබෙනවා. විශේෂයෙන්ම රැකියා විරහිත බව .තරූණ තරුණියන්ට නව රැකියා උත්පාදනය කර දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.ගාලු කොටුවෙන් විශාල රැකියා ප්‍රමාණයක් බිහි වී තිබෙනවා වගේ නිකං තිබෙන මාතර කොටුව ජනතාවට තවත් සමීප කර ඒ තුලින් රැකියා උත්පාදනය කර දීමට බලාපොරොත්තු වෙනවා .මේ දක්වා නොවිසදුනු ප්‍රශ්න සියල්ල හදුනා ගෙන ඒවාට විසදුම් ලබා දීමට කටයුතු කරනවා.මාතර ගොඩනැගීමේ වගකීම මා අතට ගන්නවා.ඒ සදහා අවශ්‍ය ශක්තිය හා සහයෝගය මට තිබෙනවා.

ප්‍රශ්නය- චෝදනාවක් තිබෙනවා.ඔබ උඩින් ගෙනත් දාපු පැරෂුට්කාරයෙක් කියලා.ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

පිලිතුර- මම පලමු වතාවට මැතිවරණයට ඉදිරිපත් වෙන එක ඇත්ත.ඒත් මම ඒ සදහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලයි ඇවිත් තියෙන්නේ.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පෙර ප්‍රාදේශීය සභා ඡන්දයකටවත් ඉදිරිපත් වෙලා නෑ.නමුත් ජනතාව ඔහුව විශ්වාස කර ජයග්‍රහණය කෙරෙව්වා.ජනතාව අදත් ඒ තීරණය ගැන සතුටු වෙනවා.ඒ නිසා මගේ ජයග්‍රහණය පිළිබඳව බියට පත්වන අය කුමන කතා කීවත් නෙලුම් පොහොට්ටුව පැල කරන්න සූදානම් වු තැන ඉදන් මේ දක්වා මා ඒ කැපකිරීම කලා.ඉදිරියටත් එහෙමයි.

ප්‍රශ්නය- මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ.?

පිලිතුර- තාරුණ්‍යය වයසේ සිටින මට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු තේරුම් ගැනීම අපහසු නෑ.ඔවුන් වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන දේ මෙහෙම පහසුවෙන් විස්තර කරන්නත් බෑ.මාගේ “වැඩ කරන රටක ගොඩනැගෙන මාතර අනාගතය “ නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ බව දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා.එය ඊයේ (25) තමයි එලි දැක්වූයේ.රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික ආයෝජකයින්ගේ සහයෝගයත් ලබා ගෙන තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසදීමටත් ඔවුන්ට වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා.ඒ වගේම තරුණ තරුණියන් බිලි ගන්නා මත් ද්‍රව්‍ය උවදුර වගේම පාතාල ක්‍රියාකාරකම් මාතරින් තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගැනීමටත් පසුබට වෙන්නේ නෑ.

ප්‍රශ්නය- අවසන් වශයෙන් ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද ?

පිලිතුර- මාතර ගොඩනගන්න නිසි වැඩපිලිවෙලක් දැක්මක් වගේම නිවැරදි ප්‍රතිපත්තියක් මට තිබෙනවා.ඒ සදහා අවශ්‍ය සම්බන්ධතා වගේම ශක්තියත් තිබෙනවා. ජයග්රහණය තහවුරු කලහොත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව නොසිතූ නොපැතූ විශාල වෙනසක් ඇති වේවි.ඒ විශ්වාසය මම සුරකිනවා.කිසි ලෙසකින් ජනතා බලාපොරොත්තු කඩ කරන්නේ නෑ.ඒ වගේම බොරු පොරොන්දු දෙන්නේ නෑ.මට කල හැකි සියලු දේ ඒ සම්බන්ධතා හරහා ඉටු කර දෙනවා.අපි මාතර ගොඩනගමු.