රංචුවෙන් මඟ හැරුණු පුංචි සුරතලා (VIDEO)

July 24, 2020 at 10:47 PM

ගල්ගමුව, පාලුකඩවල වැව් ඉස්මත්තේ සැරිසරන වන අලි රංචුවකට අයත් අලි පැටවෙකු රංචුවෙන් මගහැරී නාකොළගනේ ගම්මානයට පැමිණ ඇති බව වාර්තා වේ.

ගල්ගමුව, පාලුකඩවල වැව් ඉස්මත්තේ සැරිසරන වන අලි රංචු නිරන්තරයෙන් ආහාර සොයා අසළ පිහිටි ගම්මානවලට ගමන් කරන බව වාර්තා වේ.

රාත්‍රී කාලයේ ආහාර සොයා ගිය එම වන අලි රංචුවට අයත් අලි පැටවෙකු මෙසේ රංචුවෙන් මගහැරී නාකොළගනේ ගම්මානයට පැමිණ තිබේ.

අලි පැටවා දුටු ගම්වාසීන් ඒ පිළිබඳ ගල්ගමුව වනජීවී කාර්යාලය දැනුම්වත් කර ඇති අතර වනජීවී නිලධාරීන් පැමිණ අලි පැටවා පාලුකඩවල වැව් ඉස්මත්තේ සිටින අලි රංචුවට එක්කිරීම සඳහා රැගෙන ගොස් ඇත.

වන ජීවී නිලධාරීන් අතරමං වූ අලි පැටවාද රැගෙන වන අලි රංචුව ජලය පානය කිරීම සඳහා පැමිණෙන තෙක් බලා සිටියද අලි රංචුව එදින පාලුකඩවල වැව් ඉස්මත්තට නොපැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ හේතුවෙන් අලි පැටවා අනුරාධපුර පන්ඩුලගම පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණි.