සහරාන්ගේ සමිපතයෙක් ඉන්දීය “රෝ” සංවිධානයට ඔත්තු දුන් බවට හෙළිවෙයි

July 23, 2020 at 8:09 PM

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද ඉන්දියාවේ රෝ බුද්ධි සේවයට නිශ්චිත බුද්ධි තොරතුරු සපයා ඇත්තේ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත කණ්ඩායම තුළම සිටි අයෙක් බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීයෙකු හෙළි කළා. ඒ ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේදී.

මෙලෙස බුද්ධි තොරතුරු ලබා දී ඇත්තේ සයින්දමරුදු පිපිරීමෙන් දිවි ගලවා ගෙන මේ වන විට ඉන්දියාවට පළාගොස් සිටින පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් ද යන්න පිළිබද මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

නැගෙනහිර පළාතේ සේවයේ නියුතු රාජ්‍ය බුද්ධි සේවයේ බුද්ධි නිලධාරියෙකු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනටයි. මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශිබ්ලි ෆාරුක් දේශපාලනික වශයෙන් සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තව්හිද් ජමාද් සංවිධානයට ප්‍රබල ලෙස සහාය දී ඇති බව ඔහු ප්‍රකාශ කළා. සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ආමි මොහිදින් නැමැත්තා කලක් මෙම මන්ත්‍රීවරයාගේ රියදුරු ලෙස කටයුතු කළා. 2017 වසරේ මාර්තු මස 10 වනදා සහරාන් හෂීම්ගේ කණ්ඩායම සුන්නතු වල් ජමාද් සංවිධානය සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේදී ගැටුමක් ඇති කර ගත් අවස්ථාවේදී සහරාන්ව ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කරමින් වෑන් රථයකින් තම නිවසට රැගෙන ගොස් රැකවරණය සැපයීමට ශිබ්ලි ෆාරුක් ක්‍රියා කර ඇති බව බුද්ධි නිලධාරියා පැවසුවා. මෙම ගැටුම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී සහරාන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා බවයි ඔහු ප්‍රකාශ කළේ. අදාළ නඩුව වෙනුවෙන් මෛත්‍රී ගුණරත්න මහතා කොළඹ සිට මඩකලපුවට කැදවාගෙන ගොස් ඇත්තේ අබ්දුල් කාදර් අන්සාර් නමැති සහරාන් හෂීම්ගේ බිරිඳගේ සහෝදරයා බව මෙම නිලධාරියා කියා සිටියා.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ සාරා ජෙස්මින් නැමැත්තියක හඳුනන්නේද යන්නයි. ඇය කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයාගේ බිරිඳ බවයි සාක්ෂිකරු කියා සිටියේ. අදාළ කාන්තාව කලවංචිකුඩි තේතාකිව් ප්‍රදේශයේ උපත ලැබූ දෙමළ ජාතික කාන්තාවක් බවත් පසුව ඇය ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති බව මෙහිදී හෙළි වුණා. ඇයට හැඳුම්පත් දෙකක් පැවති බව ද ප්‍රකාශ කෙරුණා. කොමිසම මෙහිදී විමසා සිටියේ සයින්දමරුදු පිපිරීමෙන් සාරා ජෙස්මින් නැමැත්තිය සැබැවින්ම මියගියේද යන්නයි. අදාළ පිපිරීමත් සමඟ ඇය මියගිය බව රාජ්‍ය බුද්ධි සේවය පළමුවෙන් සිතා සිටියා. පසුව සිදු කළ ඩී එන් ඒ පරීක්ෂණවලදී ඇය මියගිය බවක් අනාවරණය වූයේ නැති බවයි සාක්ෂිකරු පැවසුවේ. ඒ අනුව මෙම කාන්තාව පිළිබඳ සෙවීමට තමන් නිලධාරීන් යෙද වූ බව සාක්ෂිකරු කියා සිටියා. සයින්දමරුදු පිපිරීම සිදු වූ පසුගිය වසරේ අප්‍රේල් මස 26 වනදායින් පසුව ඇයව දුටු පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ සාක්ෂි සටහන් ඇතුළත් විශේෂ වාර්තාවක් පසුගිය මැයි 31 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන කාර්යාලයට යොමු කළ බව බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ රෝ ඔත්තු සේවය තොරතුරු ලබා ගත්තේ කෙසේදැයි කොමිසම ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ 97 දෙනෙකුගෙන් පමණ තමන් ප්‍රශ්න කළද ප්‍රහාරය පිළිබඳ ඊට පෙර දැන සිටියේ සහරාන්ගේ බිරිඳ වන හාදියා සහ සහරාන් සමීපව ඇසුරු කළ නව්ෆර් මව්ලවි පමණක් බවයි. සාරා නැමැත්තිය ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැන සිටියේදැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළා. සහරාන්ගේ බිරිදගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සාරා නැමැත්තිය ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැනසිටි බව මෙහිදී හෙළි වුණා. ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් නවුෆර් මව්ලවි ලබා දුන් ප්‍රකාශයට අනුව මහනුවර දළදා පෙරහැර ඉලක්ක කරගනිමින් දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළිව ඇතැයි සාක්ෂිකරු ප්‍රකාශ කළා.

එතෙක් සැඟවී සිටිය නොහැකි වුවහොත් පන්සල් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන බව සහරාන්ගේ සොහොයුරු රිල්වාන් පාස්කු ප්‍රහාරයෙන් පසු සඳහන් කර තිබූ බවයි බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළේ. ඒ සඳහා පුපුරණ ද්‍රව්‍ය, අනෙකුත් භාණ්ඩ මෙන්ම රෙදිපිළි ආදියද සූදානම් කර තිබූ බව හෙළි කර ගැනුණා. සයින්දමරුදු නිවසේ මියගිය දරුවන් හැරුණු විට එම නිවසේ මියගිය වැඩිහිටි පිරිස ඇතුළු 12 දෙනෙකු මෙලෙස දෙවන ප්‍රහාරයක් සඳහා සූදානම් වූ බව සොයා ගැනුණා. අගෝස්තු මාසය තෙක් එම ප්‍රහාරකයන් සැඟ වී සිටීමට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරක්ෂක නිවාස 8 ක් මිලදී ගෙන තිබූ බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පළමු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය සිදු කළ මෙහෙයුම් හේතුවෙන් දෙවන ප්‍රහාරය වළක්වා ගැනීමට හැකි වුණා. යම් හෙයකින් දළදා පෙරහැරට ප්‍රහාරයක් එල්ල වූයේ නම් සිදුවන විනාශය සිතා ගැනීමට පවා නොහැකි බවයි බුද්ධි නිලධාරියා සාක්ෂි දීම අවසන් කරමින් ප්‍රකාශ කළේ.