බන්දුල ගුණවර්ධන ගේ සිහිනයකි රෑ වැඩසටහන යලි විකාශය තහනම්

July 23, 2020 at 6:01 PM

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස නැවත ප්‍රචාරය කිරිමට රූපවාහිනී සංස්ථාව කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එම වැඩසටහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් ලක්ෂ11 ක (රුපියල් 1,115,999 ) පමණ මුදලක් අයකර නැවත ප්‍රචාරය කිරිමට රුපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත.

ඒ සඳහා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා විසින් ඉකුත් 21 වැනිදා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් ද යොමු කරන ලැබූ අතර, එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වැනිදා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත.

රූපවාහිනියේ ගුවන් කාලය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් වෙන්කර මුදල් අයකර ගැනීම ගැටලුවක් නොවුණද, කලින් පටිගත කළ වැඩසටහනක සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් වන බැවින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයකු වෙත එය ප්‍රචාරක දැන්වීමක් ලෙස යොදා ගැනීම සඳහා අලෙවි කිරිම ගැටලු සහගත බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත.

එබැවින් බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වූ සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා නැවත ප්‍රචාරය කිරිමට ඉඩදිය නොහැකි බවද මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී ඇත.