අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ත්‍යාග මුදලක් ඇති බව පවසා තරුණියකගෙන් මුදල් වංචා කරලා

July 23, 2020 at 11:09 AM

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ඇමරිකන් ඩොලර් 750000ක ත්‍යාග මුදලක් දිනා ඇති බව පවසා ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ තරුණියකගෙන් රුපියල් 375000ක මුදලක් වංචා කිරිමට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කලේ මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දක්වමින් කරන ලද ඉල්ලිමක් සළකා බැලිමෙන් පසුවයි.

ගාල්ල, හිරිඹුර පදිංචි විශ්වවිද්‍යාලය අධ්‍යාපනය අවසන් කල තරුණියකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඇමරිකන් ඩොලර් 750000ක මුදලක ත්‍යාගයක් හිමිව ඇති බවට ඇයගේ ජංගම දුර කතනයට කෙටි පණිවුඩ ලැබි ඇති අතර එය ලබාගැනිම සඳහා ඇයගේ පුද්ගලික විස්තරද ඒ සමගම ඉල්ලා ඇත.

පසුව පසුගිය ජුනි 24 වනදින එංගලන්තයේ සිට නියෝජිතයෙකු එම චෙක් පතද රැගෙන ලංකාවට එන බැවින් රේගුවට ගෙවිය යුතු ගාස්තු ලෙස රුපියල් 90245ක් අවශ්‍ය බවත් එම මුදල තැන්පත් කලයුතු ගිණුම ලෙස නිට්ටඹුවේ පුද්ගලික බැංකුවක අංකයක්ද කෙටි පණිවුඩ මගින් එවා තිබේ.එම මුදල් තැන්පත් කලයුතු ගිණුම් හිමියාගේ නමද දන්වා ඇත.

පසුව එයට දින කිහිපයකට පසු තවත් රුපියල් 285000ක් අවශ්‍ය බව පවසා වැලිගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක ගිනුම් හිමියෙකුගේ නමක් දි තිබේ.ඒ අනුව ඇය එම මුදලද තැන්පත් කිරිමෙන් පසු ආදායම් බදු ලෙස තවත් රුපියල් 582700ක් අවශ්‍ය බව දුන්වා ඇත. ඒ සම්බන්ධයෙන් සැක සිතු ඇය මහ බැංකුව වෙත ගොස් විමසිමේදි පවසා ඇත්තේ මෙය වංචාවක් බවය.

ඒ අනුව ඇය සිද්ධිය පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.