ප්‍රධාන කරුණු 03ක් ඔස්සේ කුරුණෑගල සිදුවීම ගැන විමර්ශනය කරන්න : නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්

July 22, 2020 at 4:53 PM

කුරුණෑගල- දඹුල්ල මාර්ගයේ බුවනෙක හෝටලය නැමති ගොඩනැගිල්ල හානි සිදුකිරීම සම්බන්ධයෙන් වූ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල කොට්ඨාශ භාර නිලධාරී, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිස සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග ඊයේ සහ අද දිනයේදී පැවති සාකච්ජා කල බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියා.

එම සාකච්ජාවලින් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු ආකාරය සහ එහි අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් වූ උපදෙස් ඇතුලත් පිටු 05 කින් යුත් ලිපියක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කොට ඇත.

එම උපදෙස් අනුව අපරාධය සිදුවූ ස්ථානය ආරක්ෂා කිරීම සහ අධිකරණ නියෝගයක් ලබා ගැනීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරුන්ගේ විශේෂඥ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීම, නීතිපතිවරයා විසින් දක්වා ඇති කරුණු ඔස්සේ කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු එහි නාගරික මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ මහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් කිහිපදෙනෙකු ගෙන් ප්‍රකාශ ලබා ගනීම සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

මෙම සියලු විමර්ශන අවසන් කොට එම විමර්ශනයේ උදෘත මෙම මස 31 වෙනිදාට පෙර තමන් වෙත ලබා දෙන ලෙසයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කොට ඇත්තේ.