ගැටුමකින් තුවාල ලැබූ පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කෙරේ

July 22, 2020 at 8:25 PM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පහරදීමෙන් ඔහුගේ අතක් ආබාධයට ලක්ව ඇති අතර එක් කකුලකට තුවාල සිදුවී ඇත.

බුලත්සිංහල ප්‍රදේශයේ ජලනල එළීමේ ස්ථානයක් නිරීක්ෂණය කිරීමට ගොස් තිබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි සේවය කරමින් සිටි සේවකයින් සමග ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් එහිදී මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ හිටපු මන්ත්‍රීවරයා අද පස්වරුවේ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.