සමගි ජනබල වේගයේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි

July 21, 2020 at 11:53 AM
සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ගොනු කළ අභියාචන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය අද (21) නියෝග කළා.
ඒ අනුව එම අභියාචන පෙත්සම සඳහා නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000 ක මුදලක් ගෙවීමට ද සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සහ මොහොමඩ් ලාෆීර් යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.
මෙම පෙත්සම විභාගයට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වීමේ පදනම මත මෙම අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය නියෝග කළා.
මෙම අභියාචන පෙත්සම මගින් කොළඹ දිසා අධිකරණ විසින් පසුගිය ජූනි මස 22 දා නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කර තිබෙනවා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ රවි කරුණානායකට ඊයේ (20) දින නොතීසි ලැබී ඇති බැවින් ඒවා අධ්‍යනය කිරීමට නීතිඥවරු කල් ඉල්ලා සිටියා.
තම නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වයෙන් නෙරපීම අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.
වාරණ නියෝගය අයැද සිටීමේදී පැමිණිලි පාර්ශ්වය සත්‍ය කරුණු අධිකරණයට අනාවරණය කිරීම අවශ්‍ය බව අවධාරණය කරමින් වාරණය නියෝගයක් සදහා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා.