විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල් යයි

July 20, 2020 at 8:21 PM

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබු ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවලංගු කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද තීරණය කරනු ලැබුවා. ඒ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන්.

වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ICC ක්‍රිකට් ශුරතා තරගාවලියන් පැවැත්වීමේ දින වකවානු සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව ICC විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමටත්, එහි අවසන් තරගය නොවැම්බර් 14 වෙනිදා පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ICC විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය 2022 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට සහ අවසන් තරගය නොවැම්බර් 13 වෙනිදා පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ICC ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් ශුරතාවලිය 2023 වර්ෂයේදී ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී ඇරඹීමට නියමිත අතර අවසන් තරගය නොවැම්බර් 26 පැවැත්වීමට සැලසුම් කර ඇත.

කාන්තා විස්සයි 20 ක්‍රිකට් ශුරතා තරගාවලිය 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී නවසීලන්තයේදී පැවැත්වීමේ ඇති හැකියාව සොයා බලන බවයි ICC විධායක කමිටුව තීරණය කොට ඇත්තේ.