බිමත්ව නිරුවතින් ඇලක දිය නෑ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයේ නිලධාරින් 07ක ගේ වැඩ තහනම්

July 18, 2020 at 10:39 AM

පොළොන්නරුව, කලහගල ප්‍රදේශයේ ඇළක නිරුවතින් ස්නානය කරමින් සිටියදී ගම්වැසියන් සමග ගැටුමක් ඇතිකර ගත් පොලොන්නරූ දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි ඒකකයට සම්බන්ධ සියලුම නිලධාරීන් ගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩී.ඒ. ධර්මසිරි ප්‍රකාශ කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

පැමිණිලි ඒකකයට සම්බන්ධ නිලධාරීන් හත් දෙනෙකු කලහගල ප්‍රදේශයේ ඇලකට ගොස් ඇති බවත්, සිද්ධිය වන විට ඔවුන් මත්පැන් පානය කර ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඔවුන් නිරුවතින් ඇළක ස්නානය කරමින් සිටියදී ගම්වැසියන් පිරිසක් ඔවුන් වෙත පැමිණ විරෝධතා දැක්වූ අතර බහින්බස් වීමක් ඇති විය.

ගම්වාසීන් නිලධාරීන්ට පහර දී පසුව පොලිසියට භාර දී ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සඳහන් කළේ.

නිලධාරීන් හත් දෙනාගෙන් එක් අයෙකු සහ ගැමියෙකු ගැටුම් වලදී ඇතිවූ තුවාල හේතුවෙන් පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.