ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම් පොලියේ වෙනසක් නැහැ : රජය කියයි

July 7, 2020 at 11:10 AM

ජේෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජේෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් නව රජය පත්වීමත් සමඟ ඉකුත් ජනවාරි මස 01 වෙනිදා දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.

මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජේෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දී සිටිනවා.